දස දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙසින් මෙලොව එළිය දුටු මාර්ටින් වික්‍රමසිංහ කුල දරුවා උපත ලැබූයේ 1890 වසරේ මැයි මස 29 වනදා කොග්ගල දීය. ලමාහේවාගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ මහතා හා මාගල්ල බලපිටිය ලියනගේ තොච්චෝහාමි මහත්මිය එතුමාගේ මව්පියෝ වූහ. සිංහල සාහිත්‍ය පෝෂණය කරන්නට එතුමන් අතින් ලියැවුණු බොහෝමයක් කෘතිවලට පාදක වූයේ එතුමන් ඉපදී හැදී වැඩුණු කොග්ගල ප්‍රදේශය, එහි ජන ජීවිතය සහ සංස්කෘතියයි.
ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත් එතුමාට වයස අවුරුදු 5 ක් වනවිට හිතෝපදේශයේ පරිච්ඡේද කටපාඩමින් කියවීමේ හැකියාව තිබූ බව සඳහන් වේ. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ඇරඹි එතුමා ඉන් අනතුරුව ගාල්ලේ ඉංග්‍රීසී පාසලක් වූ බොනවිස්ටා විදුහලට ඇතුල්වී ඉංග්‍රීසි භාෂාව සහ ලතින් භාෂාව හැදෑරී ය. නමුත් සිය පියාගේ අභාවයත් සමගින් එතුමන්ට අහංගම පිහිටි සිංහල විදුහලට ඇතුල් වීමට සිදු වී තිබෙන අතර ඒ හේතුවෙන් එතුමාගේ අධ්‍යාපනය කෙරෙහි පැවති ඇල්ම අඩුවූවා යැයි ද සඳහන් වේ.
මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය සාහිත්‍ය නිර්මාණ කටයුතු ආරම්භ කරන ලද්දේ 1914 වසරේ දී ලියන ලද ” ලීලා ” නවකතාවෙන් වන අතර සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ “ශාස්ත්‍රීය ලේඛන” 1919 දී එළිදක්වනු ලැබීය. 1940 දශකය වනවිට එතුමා සාහිත්‍ය විචාරකයෙකුගේ භූමිකාවට පණපෙවූ අතර විචාර ලිපි (1941), ගුත්තිල ගීතය (1943), සිංහල සාහිත්‍යයේ නැගීම (1945) වැනි කෘතීන් ඒ සදහා නිදසුන් ලෙස දැකිවිය හැකිය.
අන්තර්ගතය සහ තාක්ෂණය අතින් නුතන ලෝක සාහිත්‍යය හා සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකතාව ලෙසින් “ගම්පෙරළිය” රචනා කරන ලද්දේ 1944 දී වන අතර එමගින් නුතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩා හැලෙන ආකාරය නිරුපණය කරලන්නට සමත් වී තිබේ.
තුන් ඈදුතු නවකතා ලෙසින් හැඳින්වෙන “ගම්පෙරළිය” (1944) “යුගාන්තය” (1948) හා “කලියුගය” (1957) ඔහු විසින් ලියන ලද අතර එමගින් නාගරික පන්තියේ වර්ධනය සමග සිදුවන කම්කරු ව්‍යාපාර සහ සමාජවාදී ආරම්භය ගැන අදහස් දක්වා ඇති බව විචාරක මතයයි.
සිංහල සාහිත්‍යයේ විශිෂ්ඨතම නවකතාවක් ලෙසින් සැලකෙකන “විරාගය” නවකතාව එතුමන් අතින් ලියැවෙන්නේ 1956 වසරේ දී ය. 1975 වසරේදී යෙදුණු එතුමන්ගේ 85 වෙනි ජන්ම දිනයට සමගාමීව “කොග්ගල මහා ප්‍රාඥයා” (Martin Wikramasinghe The Sage of Koggala ) ලෙසින් ලිපි එකතුවක් පළ කෙරුණු අතර එහි දෙස් විදෙස් විද්වතුන් විසින් ලියන ලද මාටින් වික්‍රමසිංහයන් පිළිබද වටිනා තොරතුරු සමුහයක් ඇතුළත්ව තිබේ.
සෑම විෂය ක්ෂේත්‍රයකම එක ලෙසින් සිය පන්හිඳ තුඩ මෙහෙයවීමට එතුමන් තුළ වූ දක්ෂතාවයට හොඳම උදාහරණ වන්නේ එතුමන් විසින් විරචිත ළමා සාහිත්‍ය, ජීව විද්‍යා, පාඨශාලා ග්‍රන්ථ, නවකතා, කෙටිකතා, දෘශ්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය, සිය ජීවිතය ඇසුරින් කළ නිර්මාණ, විදේශ සංචාර, සාහිත්‍ය විචාර, ජීව විද්‍යාත්මක ග්‍රන්ථ සහ එතුමා විසින් කතෘත්වය දැරූ පුවත්පත් යන නිර්මාණයන් ය.
මෙලෙසින් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රාශියක් සිංහල සාහිත්‍ය කෙත අස්වැද්දීම වෙනුවෙන් බිහිකළ එතුමා 1976 ජුලි මස සිය දිවි සැරියෙන් සමුගත්තේ ය. එලෙසින් එතුමා සිය ජීවන මග අවසන් කළ ද එතුමාගේ නාමය සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළ ස්වර්ණමය සලකුණක් ලෙසින් එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් අමරණීයව පවතී.