බිමට බාපං චන්දරේ...

බිමට බාපං චන්දරේ...

අමනාප වී ගෙයින් එළියට
බැස්ස දා මහ කළුවරේ
උඹට අහිතක් වෙන්නෙපා යැයි
බැන්දා බුදුගෙයි යන්තරේ
දොස් කියාගෙන ආවා විතරයි
කියාගෙන එක මන්තරේ
ඇහැක් ඇරලා බැලුවෙවත් නෑ
අපේ නෑදෑ සනුහරේ
 
උඹ එවන්නැති කියලා හිතුවේ
ලියුම් කඩදහි පත්තරේ
හදිසියේ කියවද්දි දැක්කේ
පොලිසියේ කට උත්තරේ
කාලයක් හොය හොයා හිටියේ
උඹලු කියලා විස්තරේ
දෙකට ගනිනට බැරිව හිටියත්
කියලා වාගෙයි චක්කරේ
 
හොරකමට නම උඩම තිබ්බේ
නැතුව හිටියද වස්තරේ
අප්පවත් නැති කාලෙ මතකද
කෑවෙ අපි එක බිත්තරේ
සමහරක් විට වැරදි ඇති මං
උඹව වරදට එක්කරේ
කන්න නැතිවිට මමයි කීවෙ
උස්සපන් පොල් ටැක්ටරේ
 
උඹට නැත්තම් අනික් උන්ගෙත්
ඉරලා දාපං චිත්තරේ
පුංචි කාලේ දුන්නෙ උඩගෙඩි
මමයි හොරෙකුට උත්තරේ
පසුතැවීලා පලක් නෑ දැන්
ඇවිත් යමි එන තත්පරේ
කරුමෙකට අම්මා උනත් අද
උඹයි මගෙ පුතු චන්දරේ
 
කියන්නම් මම දණින්වැටිලා
මහත්තයෝ මම විස්තරේ
පුතා අද එල්ලනවා කියලා
දැකලා ආවේ පත්තරේ
දෙයියො පල්ලයි වැරදි මමමයි
කොල්ලා නෑ වරදක් කරේ
අනේ බුදු සර් මාව එල්ලා
බිමට බාපං චන්දරේ
 

උමේෂා පතිරණ

බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

හොඳම නිර්මාණය පළමු ස්ථානය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *