බාල සංදියේ ඉඳලා වින්දේ දුකයි කඳුළයි එකට සමසේ…
වසර පහළොව වෙද්දි දුන්නා සහේකට මං තරුණ වයසේ…
නොතේරුම් කම් දහක් මැද්දේ මමත් දිව්වා ජීවිතේ පස්සේ…
කිසිම දා නෑ අහම්බෙන් වත් සතුට දැක්කේ එයින් පස්සේ…
ටිකෙන් ටික දින සති ගෙවාගෙන නොලැබෙනා දේ හිතේ ගුලිකර…
දහදියත් මිල මුදල් කෙරුවා කාෂ්ටක මහා පොළව තෙත් කර…
ඇඳන් ඉන්නට කවමදාවත් මිලට ගත්තේ නැහැනේ වස්තර…
දුක ලියන්නම් පුරවලා පිටු ඉතිං එහෙමයි අපේ විස්තර …
කාලේ ගෙවිලා යද්දී වේගෙන් දරුවෝ එක දෙක කුසට ආවා…
කොතෙක් අගහිඟකම් ඇතත් මම උන්ට සතුටක් මවා පෑවා…
හිතේ වීරීය කොතෙක් තිබුණත් දරු දුකෙන් මුළු ගතම දෑවා…
ඇත්තමයි බුදු අම්මේ මහා රෑ කඳුළු සයුරේ තනිව නෑවා…
නැති උනත් මට උපන්දා සිට හිතට සතුටක් තාම ලැබිලා…
බැහැනේ දෙන්නට පොඩි උන්ට ගින්දර උන් නැතේ මට වැරදි කරලා…
හිත හදාගෙන රටක යන්නට තවත් මොකටද මෙහෙම ඉදලා…
තාත්තෙක් දරුවන්ට හිටියත් නමට විතරයි උන්ට ලැබිලා…
අහස් යන්තරේ හරිම වේගෙන් දරුවෝ ටික මගේ ඈත් කෙරුවා…
එයින් පස්සේ මෙහෙකාරි වී කාන්තාරෙක නතර වූවා…
ඉරක් අහසක් දකින්නට නෑ වැඩම විතරයි කරුම මේවා…
හඳක් වූවත් පලක් වේවීද මැරුනොතින් ඒ හඳේ හාවා…
අවාරෙට හඳ දකිනවා සේ අහනවා පොඩි උන්ගේ කටහඬ…
එහෙව් දවසට නොකිව්වට හිත දවස තිස්සෙම ගිනිගොඩක් උඩ…
පිච්චි පිච්චි වැඩම කෙරුවත් කඳුළු හංගන් හිතින් අඬ අඬ…
කරන්නට බැරි වැඩක් වූවොත් ගෙවන්නට වෙනවානේ මට දඬ…
හිතාගෙන මං මවාගෙන හිත පෙරුම් පිරුවා ගමට එන්නට…
එහෙත් පින නෑ එහෙව් දවසක් හීන විතරයි යළිත් එන්නට…
අණක් දුන්නා සහර කතරේ ගල් ගසා මා මරා දමනට…
වරද කාගෙද හොයා පල නැත තවත් කල් නෑ මරනවා හෙට…
නීෂා මධූරංගී
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය
හොඳම නිර්මාණය දෙවන ස්ථානය