සුන්දර මනාලියක්, කඩවසම් මනාලයෙක් වෙලා ලස්සන මංගල පෝරුවක් උඩ තේජාන්විත විවාහ මංගල්‍යයක් ගන්න හීනෙ තරුණ තරුණියන්ගේ හිත්වල ඇති වෙන්නේ ආදරය කියන හැඟීම ඒ හිත්වල මෝදු වෙන්නත් කලින්. ආදරය කියන්නේ සුන්දර හැඟීමක්. වචනවලින් විස්තර කරලා ඉවර කරන්න බැරි මොකද්දෝ අමුතු හැඟීමක් ඒ වචනේ ඇතුළේ හැංගිලා තියෙනවා. හැබැයි ඒ හැඟීම ආදරණීය බැඳීමක් බවට පත් වෙන්නේ සෙනෙහස, ගරු කිරීම, විශ්වාසය, එකිනෙකාව තේරුම් ගැනීම, අවංකබව තිබුණොත් විතරමයි.
ලස්සනට හැඩ වැඩ දාපු සාරියක තියෙන සුන්දරත්වයෙන්, හිසට පළඳින ඉරයි හඳයි දෙන ආලෝකයෙන් විවාහ මංගල්‍යය දවසේ ඔබ සතුටින්, සුන්දරව ඉන්නවා වගේම එදයින් පස්සේ ඔබ ආරම්භ කරන අලුත් ජීවිතයත් ආලෝකයෙන් සතුටින් පිරිලා තිබිය යුතුමයි.
ආදරයෙන් හිත්වලින් බැඳෙන දෙන්නෙක් විවාහයෙන් පස්සේ එක පවුලක් බවට පත්වෙන්නේ දෙන්නගෙම ශක්තියෙන්, ආදරයෙන්, සතුටින් ජීවිතය ඉදිරියට අරගෙන යන්න.
තමන්ගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් තමන් ජීවිත කාලය පුරාම මහන්සියෙන් උපයාගත් මුදල් වියදම් කරන විදිය ගැන කල්පනා කරන්න කලින් ජීවිත කාලය පුරාම ආදරයෙන්, ශක්තියෙන් ජීවිතය දිනන හැටි දෙන්නා එකතු වෙලා කතා කරන්න. ඔබ ඔබේ ජීවිතයේ ගත කරන ස්වර්ණමය පැය කිහිපය එය බවට පත් වෙයි.
විවාහයෙන් පස්සේ දියණියක්, බිරිඳක් විදියට අලුත් ජීවිතයකට පිය නඟන ඔබ රැගෙන යා යුතුම දේවල් බොහෝමයක් තියෙනවා.
ඉවසීම, විශ්වාසය, ආදරය, එකිනෙකා තේරුම් ගැනීම ඒ අතර විශේෂයි. ඔබ විවාහ වෙලා ස්වාමියාගේ නිවසට යන කොට ලේලියක් විදියට නෙමෙයි දියණියක් විදියට ඒ නිවසේ ජීවත් වෙන්න ඔබටම පොරොන්දුවක් වෙන්න. ඔබත් ඔබේ සැමියාත් ආදරණීය බැඳීමක හිමිකරුවන් වුණාට ඔබ දෙදෙනාගේ පවුල්වල තිබෙන සමහර පුරුදු, චර්යාවන් බොහෝ විට එකිනෙකට වෙනස්. ඉතින් ඒ වෙනසට ඉක්මනින් හුරුවෙන්න. ඒ හැමදේම දිහා අවබෝධයෙන් බලන්න. ඔබත් නොදැනීම ඔබ ඔබේ ස්වාමියාගේ පවුලේ දියණිය බවට පත් වේවි.
විවාහයෙන් පස්සේ සැමියෙක්, පුතෙක් විදියට අලුත් ජීවිතයකට පියනඟන ඔබත් මතකයේ තබාගත යුතු බොහෝ දේ තිබෙනවා.
ඔබ ඔබේ නිවසට කැන්දාගෙන එන්නේ තවත් නිවසක ආදරයෙන් හැදී වැඩුණු දියණියක්. ඉතින් ඇයට ආදරණීය සොයාබැලීමක්, ආදරණීය ආමන්ත්‍රණයක්, ආදරණීය උණුහුමක් අවශ්‍යමයි. එය හොඳින් තේරුම් ගන්න. ඔබේ බිරිඳගේ දෙමව්පියන් ඇයව ඔබට භාර දෙන තෙක් ඇය වෙනුවෙන් කරන ලද හැම කැප කිරීමක්ම වෙනුවෙන් ඔවුන්ට ආදරය කරන්න. ගෞරව කරන්න. ඔබ ඔබටත් නොදැනීම ඇගේ දෙමව්පියන්ගේම පුතෙකු බවට පත් වේවි. ඔබේ නිවසේ සාමාන්‍ය පරිසරයට හුරු වීමට ඇයට උදව් කරන්න. එය ඔබේ ආදරණීය බැඳීම තව තවත් ශක්තිමත් කරාවි.
යුගදිවිය කියන්නේ සරල වචනයක් වුණාට ඒ තුළ තියෙන්නේ ඉතා සංයමයකින් තේරුම් ගතයුතු ගැඹුරු අර්ථයක්. ඒ අර්ථය නිවැරදිව හඳුනා ගත්තොත් ඔබේ යුගදිවිය තුළ ඔබ අතිශය සාර්ථක පුද්ගලයෙක් බවට පත්වේවි.
ඔබේ ආදරණීය බැඳීම ජීවිතය පුරාවටම ආරක්ෂා කරගන්න, යුගදිවියට පිය නඟන්නට පෙර එහි සැබෑ අර්ථය තේරුම් ගන්න.
නදීරා ප්‍රශංසනී
ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා