වෙර දරා පිපුණු සිත සොරා ගත් ඩැෆඩිල් මල

වෙර දරා පිපුණු සිත සොරා ගත් ඩැෆඩිල් මල

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියල සුභාෂිතයේ තිබුණත් අපට මුණගැහෙනවා එක් දෙයකට සීමා නොවී තවත් හැකියාවන් සපිරි මිනිසුන්. ඔවුන් එක් ක්ෂේත්‍රයකට කොටු නොවී තමන්ගෙ නිර්මාණශීලීත්වය ඔස්සේ තම හැකියාවන් වෙනත් ක්ෂේත්‍රවලත් පෙන්වල තියෙන අවස්ථා අපට අහන්න දකින්න ලැබෙනවා. අද අපි කතා කරන්න හදන්නේ අන්න ඒ වගේ දෙඅංශයකින් තම හැකියාවන් ඔප් නංවමින් රසික හදවත් විකසිත කළ තරු ගුණය ඇති කලාකරුවෙක් ගැනයි.

බ්‍රැන්ඩික්ස් පවුලේ අපට ඉතා සමීප වගේ ම ලෙංගතු, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන නදීක කරුණානායක මහතා වියමන් TV වෙනුවෙන් මෙහෙයවන ‘තරුවක් සමග’ පළමු වැඩසටහනට සහභාගී වෙන්න කියල අපි ඒ කලාකරුවට ආරාධනා කළා. තමන්ගේ හිත සොරාගත් ඩැෆඩිල් මලට ගී ගැයූ ඔහු නිරහංකාර, වචනයේ අර්ථයෙන් ම දයාවෙන් පිරුණු දයාන් විතාරණ මහතායි. ජ්‍යෙෂ්ඨ මෙන් ම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු ලෙස ජන හදවත් දිනාගත් ඔහු ප්‍රවීණ ගායකයෙක් ලෙසින් ද ජනාදරයට පත් සොඳුරු කලාකරුවෙකි.

ලයාන්විත හඬකට මෙන් ම නිර්මාණාත්මක ඇහැකට ද උරුමකම් කියන මෙම කඩවසම් කලාකරුවාගේ ළමා කාලය මෙරට විවිධ පළාත්වල අත්දැකීම් ලබමින් ගෙවී ඇත.
සහෝදරියන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ බඩපිස්සා වූ ඔහු වසර 13ක් වැනි කෙටි කාලයක් පමණක් ලද පිය සෙනෙහස පිළිබඳ වචන කරන්නේ සංවේදීව ය. හදිසි හෘදයාබාධයකින් පියා සිය ජීවිතයෙන් සමු ගත් මොහොතේ පටන් තමන් හට යෝධ සෙවණැල්ල වූයේ සිය මව බව ද ඔහු මෙම සාකච්ඡාවේදී ආදරණීයව සිහිපත් කළා.
තම දෙමාපියන් ජීවත්ව සිටී නම් ඔවුන් සමග කතාබහ කර දුක සතුට බෙදාගන්නා ලෙසත් ඔවුන්ව සතුටින් තබන ලෙසත් ඔහු තම රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් ද කළා.

සිය අධ්‍යාපනයෙන් අනතුරුව වෘත්තීය ජීවිතය ඇරඹූ අයුරුත් ඒ අතර ඡායාරූප ශිල්පය ආරම්භ කළ අයුරුත් ඔහු සිහිපත් කරන්නේ ඉතා සතුටින්
අනූව දශකයේ විවාහ මංගල ඡායාරූප ක්ෂේත්‍රයට නව මානයක් එක් කළ දයාන් විතාරණ මහතා ලංකාවේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වූ ආකාරයත් ඒ ජයග්‍රහණයන් සිය මවට දකින්නට විඳින්නට අවස්ථාව ලබා දීම පිළිබඳවත් ඔහු සිහිපත් කළේ සතුටින්.

ඒ විතරක් නෙමෙයි, සිය ඡායාරූප කටයුතු සඳහා මව සහය වූ ආකාරයත් ඇගේ කැපවීමත් ඔහු ඉතා ආසාවෙන් සිහිපත් කළා.
එමෙන් ම සිය සංගීත දිවියේ ගුරුවරිය වූ විශාරද නන්දා මාලනිය ද සිහිපත් කිරීමට ඔහු අමතක කළේ නැහැ.
සිය දෙමාපියන් ගැන ගෞරවයෙන් සිහිපත් කරමින් සිය දිවියේ විවිධ අවධි පිළිබඳ මතකයන් අවුස්සමින් ඔහු මේ සාකච්ඡාව හැඩ කළා.
එදා මෙදාතුර සිය ජීවිතයේ විවිධාකාරයේ අත්දැකීම් සිහිපත් කරමින් සුන්දර මතක ආවර්ජනයක යෙදෙමින් ඔහු මේ ගුවන් කාලය තුළ අප සමග දොඩමළු වුණා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *