ටීචර් කියලා දුන්න පාඩම ආයෙත් මතක් කරමු ද?

ටීචර් කියලා දුන්න පාඩම ආයෙත් මතක් කරමු ද?

මිහිකත නළවාලා – මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

සුනිල් ශාන්තයන් ගායනා කරන මේ ගීතය එක්ක ඔයාට මතක් වෙනවා ඇති ඔයාගෙ ටීච ඉස්කෝලෙට ආව හැටි, ටීචගෙ සාරි පොට අල්ලගෙන ඔයා යාළුවො එක්ක ටීච පස්සෙන් ගිය හැටි. ඒ හැමදේම අතීතෙට අයිති වුණාට අපි වර්තමානෙ යම් තැනක ඉන්නෙ ගුරුවරු නිසා.

‘අ’ යන්න ‘ආ’ යන්න ලියන විදියෙ ඉඳල සමාජෙ ජීවත්වෙන්න ඕන කොහොම ද කියන එක දක්වා ගොඩක් දේවල් අපට ගුරුවරු ඉගැන්නුවා.

හෙමින් යන්න ඔයාගෙ ඉස්කෝලෙ පුංචි පන්ති කාමරේට ආයෙත්. මතක ද කළු ලෑල්ල පුරා හුණු කූරෙන් අකුරෙන් අකුර ලිය ලිය අපිව මේ තැනට එනකම් ගේන්න අපේ ගුරුවරු මහන්සි වුණ හැටි. සමහර වෙලාවට ගුටියක් දෙකක් කන්න වෙලත් ඇති ඔයාලට. ඔයාට මතක ද ඔයාගෙ විභාග ලකුණු වැඩිනම් ටීච හොඳ කිව්වා වගේ ම අඩුනම් පොඩි සද්දයක් දැම්මා. ඒ හැමදෙයක් ම කළේ ඔයාව මේ සමාජෙ හොඳ තැනකට ගේන්න. අද පාරකදි දැක්කත් අපි ගුරුවරුන්ට වඳින්න පවා පෙළඹෙන්නෙ ඒකයි.

දහස් ගාණක් ළමයින්ගෙ ඇස් පාදපු ගුරුවරු විශ්‍රාම ගියා ම පවා තමන්ගෙ පන්ති කාමරවල දඟ කළ දරුවො මතක්වෙලා ඇස් තෙත් වුණ අවස්ථා ගැන කියනවා. ඔයාට පුළුවන් හැම වෙලාවක ම ඔයාගෙ ගුරුවරුන්ව මුණගැහුණොත් හිනාවෙලා කතා කරන්න. ඒකෙන් එයාලගෙ හිත පිරෙනවා. ඒ වගේ ම තමයි එයාලා මහන්සි වුණේ ඔයාගෙ හෙට දවස ලස්සන කරන්න. ඒ නිසා ඔයා අද ඉන්නෙ කොතැන ද කියන එක නෙමෙයි, ඔයා ඒ ඉන්න තැන ඉන්න පුළුවන් ලස්සන ම විදියට ජීවත්වෙන්න. රස්සාවෙ ඉස්සරහට ම යන්න උත්සහ ගන්න. ජීවිතේ අනිත් දේවල් වුණත් ඔයාට පුළුවන් උපරිමෙන් දිනන්න. ඒක තමයි ගුරුවරුන්ට දෙන්න පුළුවන් ලොකු ම ගෞරවය.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීතයේ කියනව වගේ අපේ ගුරුවරු අපට හරි පාර පෙන්නුවා. අපි ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාට ඔයා, මම වගේ තව දහස් ගාණකගෙ ඇස් පාදන්න ඒ ගුරුවරු තාමත් ඉස්කෝලෙ යනව ඇති.
දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියනවනේ. ඒ කියල දුන්න පාරෙ යන්න බැරි වුණා කියල හිතෙනවනම් පරක්කු නෑ, ගුරුවරු ඒ කාලෙ කියල දුන්න දේවල් හිතට අරන් ආයෙත් ඔයාගෙ ගමන ලස්සන කරගන්න පටන් ගන්න. ගුරු දිනේට දෙන්න පුළුවන් වටිනා ම අර්ථය ඒක.

ඒ වගේ ම ඔයාට ඉන්නවා ඇති ඔයාගෙ රස්සාව නොවැටී කරගෙන යන්න දිරි දුන්න, ආදරෙන් මග පෙන්වපු ලොකු අක්කා කෙනෙක්. ඒ දුන්න ගුරුහරුකම් වෙනුවෙන් ලොකු අක්කවත් මේ වෙලාවෙ ආදරෙන් මතක් කරමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *