මානසික සෞඛ්‍ය කියන්නෙ අපේ ජීවිතවල වැදගත් ම කොටස කියල කිව්වොත් හරි. අද කාලෙ ගොඩක් මිනිස්සු රොබෝලා වගේ යාන්ත්රිකවෙලා .මානසික සැනසිල්ලක් ජීවිතවල නැති තරම්.
මොන තරම් වැඩ අතරෙ වුණත් නිවෙන්න මොහොතක් අපේ දවස ඇතුළෙ තියෙන්න ම ඕන. ඒකට ඔයාට වෙන ම මහන්සි වෙන්න ඕන නෑ. බටහිර රටවල මිනිස්සු මේකට කියන්නෙ Mindfulness කියල. ඒ කියන්නෙ සතිමත්බව. මේකෙන් අදහස් කරන්නෙ අපි මේ මොහොතෙ ජීවත්වෙන්න ඕන කියන එක. මානසිකව ශක්තිමත්ව ඉන්නනම් අපි මේ මොහොත තුළ ජීවත්වෙන්නයි ඕන. ඔයා මේක අත්හදා බැලුවොත් විනාඩි කීපයෙන් ඒ වෙනස දැනේවි. නිකමට ඔයා කරන වැඩක් ගැන හිතන්න. ඔයා මේ වෙලාවෙ මොනව හරි මහනව වෙන්න පුළුවන්. ඔයා දැන් මහන ගමන් ඒක විතර ද කරන්නෙ? නෑ. ඔයා ගොඩක් වෙලාවට ඊළඟට කරන්න තියෙන දෙයක්, ගෙදර ප්‍රශ්නයක්, එහෙම නැත්නම් වෙන මොනව හරි ගැන හිත හිත ඉන්නෙ. අපි හැමෝම වගේ එහෙමයි. අපේ ඔළුවෙ එක දෙයක් නෑ. හැමදේම ඔළුවල පුරවගෙන අපි ස්ට්රෙස්වෙලා ඉන්නවා. ඔයාට පුළුවන්නම් ඔය කරන වැඩේට විතරක් අවදානය දෙන්න. ඔයා මහනකොට ඉඳිකටුව රෙදි කෑල්ල මහගෙන යන රටාව ඔයාට පෙනේවි. ඔයාට ඒක වෙනද දැනිල නෑ කියල හිතේවි. කරන වැඩේට විතරක් අවදානය දෙන්න පුරුදු වුණා ම අපේ ප්‍රශ්නත් ගොඩක් විසඳෙනවා. මනස සැහැල්ලුවෙන් නිසා අපට විසඳුම් පේන්න ගන්නවා. ඒ වගේ ම අපි ප්‍රශ්න ගැන හිතනකොට අපිට අනිත් අය එක්ක තරහ යනවා. ආතතියෙන් ඉන්නෙ. ඒ හැමදේම නැතිවෙනවා මේ මොහොතෙ කරන වැඩේට අවදානය දීල වැඩ කරනකොට.
ඔයාට වැඩක් නැති වෙලාවට හිත සිතුවිලිවලින් හිස් කරල වටපිටාවෙ සද්දවලට ඇහුම්කන් දෙන්න. එතකොට ඔයාව නිවෙන්න ගන්නවා. මානසිකව ශක්තිමත් වෙන්න නම් මුලින් ඔයා අභ්‍යන්තරයෙන් නිවෙන්න ඕන.
මේක වෙන රටක වුණ සිද්ධියක්. එක කාන්තාවක් හිටියා එයාගෙ අතක කාලයක් තිස්සෙ සනීප නොවෙන දදයක් තිබුණා. එයා දවසක් කායික රෝග වෛද්‍යවරයෙක් ළඟට ගියා බෙහෙත් ගන්න. ඩොක්ට එයා එක්ක කතා කරනකොට ඩොක්ටට තේරුණා මේ කාන්තාව ටිකක් දැඩි හිතක් තියෙන, ජීවිතේ විඳවන කෙනෙක් කියලා. මේ ඩොක්ට එයාට බෙහෙත් දෙනව වෙනුවට කළේ එයාව මනෝ වෛද්‍යවරයෙක්ට යොමු කළ එක. ඉතින් මේ කාන්තාව මනෝ වෛද්‍යවරයා මුණගැහෙන්න ගියා. ඒ ඩොක්ට මේ කාන්තාව එක්ක කතා කරන ගමන් එයාට තියෙන ප්‍රශ්න ගැන ඇහුවා. දැඩි හිතක් තිබුණ ඇය ටිකෙන් ටික මෘදු විදියට හැමදේම කියන්න ගත්තා.
දන්නව ද එයා එයාගෙ බාල සහෝදරයෙක් ගැන ලොකු තරහකින් ඉඳල තියෙනවා. එයා ඒ සහෝදරයට සලකල තියෙන්නෙ හරි අසාධාරණ විදියට. ඩොක්ටට එයා මේ හැමදේම කිව්වා. ඩොක්ට එයාට උදව් කළා හිතේ තිබුණ වෛරය නැති කරල මෛත්‍රිය වඩන්න. හිතාගන්නත් බැරි තරම් ඉක්මනට එයාගෙ අතේ තිබුණ දදය නැතිවෙලා ගියා. ඇය මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයක නෙමෙයි හිටියෙ හිතේ තිබුණ වෛරය නිසා. ඒකෙන් තමයි සනීප නොවෙන දදයක් එයාගෙ අතේ ආවෙ. ඒක මැජික් එකක් කියල හිතෙයි. ඒත් ගොඩක් අයට ඔළුව රිදෙන එකේ ඉඳල ගොඩක් ලෙඩ හැදෙන්නෙ කායිකව ම නෙමෙයි. මානසිකව හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නැති වුණා ම. ඒ නිසා පුළුවන් තරම් මානසිකව ශක්තිමත් වෙන්න. නිවෙන්න.
අනිත් දේ තමයි අපි හැමෝම ප්‍රශ්න එක්ක ජීවත්වෙන මිනිස්සු. ප්‍රශ්න ආව ම හිතේ තියාගෙන ඉන්නෙ නැතුව ඔයාලගෙ ආයතනයේ ඔයාට ළඟින් ම ඉන්න උපදේශිකාවට කියන්න. එතකොට ඔයාට ලොකු සැහැල්ලුවක් දැනෙනව වගේ ම විසඳුමක් හොයාගන්නත් පුළුවන්. ඒ වගේ ම හොඳ ඇහුම්කන්දෙන්නෙක් වෙන්න. හරියට ඔයාගෙ ලොකු අක්කා ඔයාගෙ ප්‍රශ්නවලදි උදව් කරල ඔයාව දිරිමත් කළා වගේ අනිත් අයටත් ඔයා උදව් කරන්න. අපේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගන්න ඒ හැමදේම අපට උදව් වෙනවා.
කායිකව නිරෝගී වෙන්න නම් මානසිකව අපි සුවපත් වෙන්න ඕන. ජීවිතේ ලස්සනට ගෙවන්න නම් ඔයා ඉන්න තත්ත්වෙ මොකක් වුණත් මානසික සැහැල්ලුව වෙනුවෙන් දවසෙ පොඩි වෙලාවක් හරි වෙන් කරන්න. ඔයාගෙ හැමදේම සාර්ථකවේවි.