හන්තාන සිහිනය

හන්තාන සිහිනය

මම බිමල්, ඔයාලගේ ප්‍රවාහන සේවයේ පරිපාලන නිලධාරියෙක්. කාලයක් තිස්සේ පෙරුම් පුරලා මගේම කියල පොතක් ලියල ඉවර කරන්න හැකිවුණා. එහි මූලික අරමුණ වුණේ සුන්දර ආදරේ ගැන ලියන්න. මේ කතාව කාගේ හරි ඇත්ත ම කතාව වෙන්නත් පුළුවන්. මෙහි අඩංගු වුණ ගොඩක් සිදුවීම් මගේ හිතට කොහොම ආව ද කියල මමවත් දන්නේ නැහැ. හැබැයි මේ කතාව ලිව්වේ ඔයාල ගැන හිතල. ස්ත්‍රී පරපුරට ශක්තියක් වෙන්න. ඔළුව යකාගේ කම්මල වගේ කියල හිතෙන වෙලාවට මගේ පොතේ පිටු කිහිපයක් කියෙව්වම ඒක නැතිවෙලා යාවි කියල මට හිතෙනවා. ඒ වගේ ම ඔයාලගේ ජීවිතේ ලස්සනට සැලසුම් කරගන්න, වෙනත් අයගේ බලපෑම්වලින් ඔයාලගේ ජීවිතේ අවුල් කරගන්නේ නැතුව නිවැරදිව ජීවිතේට මුහුණ දෙන්නෙ කොහොම ද කියල මේ පොතෙන් ඔයාලත් එක්ක කතාකරන්නයි මගේ උත්සාහය.

ජීවිත කිහිපයක් ආත්ම දෙකක් තුළ ගලාගෙන යන අයුරු රස විඳින්නට ඔබට හැකි වේවි. අපි එහෙනම් පියනගමු හන්තාන සිහිනය දකින්නට.

වරුණ, අමායා, උත්තරා සහ නිර්මාල් සමගින් ඔයාලත් යන්න ඒ අතීතෙට. එහෙට ගිහින් පරණ පුරුදු විදිහට යාළුවන්ට උදවු කරන්න. තරුණ කාලේ සුන්දරව ගෙවන්න. අමතක කරන්න බැරිවුණ ආදරේ විඳලා එන්න.

පළවන පරිච්ඡේදය

නිවාඩු දිනය බොහෝ සෙයින් සතුටින් පිරී දිගු කාලයක් වුණා. මම ඔවුන්ගෙන් සමු ගෙන නිවස බලා යාමට පැමිණෙන විට ආන්ටි මොනවදෝ පාර්සලයක් මා අත තැබුවා. වෙන්වීම ශෝකයක් බව එදා මම පළමු වරට විඳගත්තා. උත්තරා මගේ දුරකතන අංකය ඉල්ලා ගනු ලැබුයේ මා ඇයගේ අංකය ලබාගැනීමට සැරසේනවාත් සමගය. ආන්ටිගේ මුහුණ පුදුම සහගත අයුරින් සතුටින් පිරී තිබෙන බව දිස් වුණා. උත්තරා මිහිරි කවියක් වගේ. ඇගේ රූ සපුව රන්වන් පාටට දිලිසෙන කෙස් කළඹ, ගමන් විලාසය, වචන හසුරුවන අයුරු හරි ම ප්‍රසන්නයි. ඇය සොඳුරු යුවතියක්. නිල්ල පිරුණු කඳු අතරින් මාවත දිගේ කල්පනාවේ නිමග්නව මම තරමක දුරක් ඇවිද ගොස් තිබුණා. මේ සෑම දෙය ම ඉතා කෙටි කාලයක් තුළ මගේ දිවියට සුන්දරත්වයක් ගෙන දුන්න සිහිනයක් වගේ.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් තිබුණා. ටික කලකින් ම ජානි ආන්ටි මගේ මව මෙන් දැනෙන්නට වූයේ ඇය එම සෙනෙහස උපරිම මා හට ලබාදීමට කටයුතු කළ නිසයි. මේ සියලු දේ මවට දැන්වූ පසු මගේ සතුට පිළිබඳ ඇය ද සතුටින් පසුවන බව අවබෝධ වුණා.  

උත්තරාගෙන් නිතර පැමිණෙන දුරකතන ඇමතුම් මගේ විවේකය අඩු කරනු ලැබුවත්, සුන්දර නවසීලන්තයේ පිරිසිදු මංමාවත් දිගේ අපේ හුදෙකලාව තුරන් වුණා. සතියකට දෙවරක් අපි හමුවීමට පුරුදු වුණේ දෛවය හරි පුදුම අයුරින් අපේ ජීවිතවලට පැමිණෙන නිසා වෙන්න ඇති. සීත කාලය අපේ දෙනෙත් තරමක් දුරස් කළත් දුරකතනය අපේ හඬ එකතැන් කළා නිරායාසයෙන්. සමහර දිනවලදී සීත හිමේ ඇවිදගෙන යන්න, හිම ක්‍රීඩා කරන්නත් අවස්ථාව ලැබුණා. සමහර දිනෙක ආන්ටිත් අපි සමග එකතු වී බොහෝ සෙයින් සතුටු වුණා. ඇගේ ජීවිතේ ප්‍රබෝධමත් ම කාලය උදා වුණා වගෙයි. විටෙක යෞවනියක් ලෙස ද මහත් සේ තුටින් කෙළිදෙලෙන් කාලය ගෙවන්නට ඇය ද හුරු වුණා. 

සිතා ගැනීමටත් නොහැකි අයුරින් අපේ ජීවිත එකිනෙක බැඳෙමින් පැවතුණා. කාත් කවුරුත් නැතුවා සේ දැනුනු මේ සීතල රටේ මවක් සොයුරියක් ලැබීම කෙතරම් වාසනාවක් ද. තවත් මාස තුනක් ගෙවෙමින් පැවතුනා. සීතල නිමාවෙමින් වසන්තය ළඟා වන්නට ආසන්නයි. ගහ කොළ මලින් බරව සුන්දර ජල දහරා මවමින් නවසීලන්තය දිව්‍ය ලෝකයක් කරමින් සියලු  දෙනාගේම සිත් සතන් අමන්දානදයට පමුණුවනු ලැබුවා. 

තවත් සති අන්තයක් උදාවන්නට සිකුරාදා දිනයක් පැමිණියා. උත්තරා ඔරියන්ටල් පැරඩ් යන්නට ආරාධානා කළා. මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන යාම ඇයගේ විනෝදාංශය වෙලා තිබුණේ. නිල්වන් මුහුද දෙස බලාගෙන ලී බංකුවක වාඩි වී සිටින්නට මා සමග දොඩමලු වන්නට ඇය බොහෝ කැමති වන්නට ඇති. අපි දෙදෙනා වෙරළ අසල බංකුවක අසුන් ගත්තා. 

“හරි පුදුමයි අපේ හමුවීම නේද අයියේ?”

 “එකනම් ඇත්ත” ..

මාස ගණනාවක් මම මේ රටේ සිටියත් අපිට හමුවීමට ලැබුණේ නියමිත වෙලාවට වෙන්න ඇති. “කොහොමද අපි ඉක්මනින් යාළුවො වුණේ.”

“ඔයාව දැකපු මුල් දවසෙ ම මගේ ගොඩක් පරණ යාළුවෙක් වගේ දැනුනනේ උත්තරා. මටත් එහෙම සිතුණා. ඒකනෙ හෙල්ප් කරනව ද ඇහුවේ.”

ජීවිතේ හරි පුදුම අයුරින් යම් සිදුවීම් අත්විඳින්න ලැබෙනවා …

‘ඕකට මනෝවිද්‍යාවේ තියරි එකක් තියෙනවා. ඒක හරියට හරි.” උත්තරා පැවසුවා.

බිමල් පීරිස්
ප්‍රවාහන අංශය – ප්‍රධාන කාර්යාලය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *