සැනසුම්දායක පවුල් ජීවිතයක් වෙනුවෙන් පිදෙන සෙනෙහසේ තිළිණය “සුරැකි ඔබ”

සැනසුම්දායක පවුල් ජීවිතයක් වෙනුවෙන් පිදෙන සෙනෙහසේ තිළිණය “සුරැකි ඔබ”

බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය දැනට වසර 4කට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සමූහය තුළ බිහිවන්නේ ආයතනික සාමාජික සාමාජිකාවන්ගේ මානසික යහපැවැත්ම වර්ධනය කිරීම වෙනුවෙන් ගනු ලැබූ යෝධ පියවරක් ලෙසිනි. වසර 4ක් පුරාවට පැමිණි ගමන් මග තුළ සමූහ මනෝ විද්‍යාඥ පේෂලී ප්‍රනාන්දු මහත්මියගේ නායකත්වයෙන් බ්‍රැන්ඩික්ස් සමූහයේ සෑම ආයතනයක් තුළදී ම මනෝ උපදේශකවරියකගේ සහය ලබා ගැනීමට සාමාජික සාමාජිකාවන්ට අවස්ථාව උදාකර දිය හැකි වීම සුවිශේෂී කරුණකි. මනෝ උපදේශන අංශය මගින් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ මානසික යහපැවැත්ම වර්ධනය කිරීම වෙනුවෙන් සිදු කරගෙන යන විශාල කාර්යයභාරයෙහි නවමු පැතිකඩක් විවර කරමින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැනුවත්භාවය වර්ධනය කිරීම උදෙසා සුරැකි බ” ව්‍යාපෘතිය නිර්මාණය වී ඇත.

ලාංකීය සමාජය තුළ මෙන් ම ලොව පුරා අතිශය සංකීර්ණ ගැටලුවක් බවට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පත් වී තිබුණ ද ඒ පිළිබඳව සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉතා පහළ මට්ටමක පවතින බව නොරහසකි. ඒ අනුව, මෙහි කාලීන අවශ්‍යතාව අවබෝධ කරගත් මනෝ උපදේශන අංශය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැනුවත්භාවය වර්ධනය කිරිම, ආත්ම අභිමානය වැඩි දියුණු කිරීම සහ අවශ්‍ය සහයෝගය ලබා දීම අරමුණු කරගනිමින් “සුරැකි ඔබ” ව්‍යාපෘතිය බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් තිළිණ කරන්නට සූදානමින් සිටී.

විවිධ තේමාවන් ඔස්සේ දැනුවත්භාවය ලබා දීමට මෙහිදී සැලසුම් කර ඇති අතර පළමු වැඩසටහන තුළින් බ්‍රැන්ඩික්ස් සාරධර්ම ඔබේ පවුලේ සතුට ආරක්ෂා කර දෙන ආකාරය සහ එම සාරධර්ම ගිලිහී යාම තුළින් පවුලට සිදු වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් වෙන් වී ඇත.

දෙවන වැඩසටහන ලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පැහැදිලි හඳුන්වාදීමක් සිදු කිරීමට මනෝ උපදේශන අංශය සූදානමින් සිටී.

තෙවන වැඩසටහන ලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තුළින් දරුවන්ට වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් වෙන් වී ඇත.

සිව්වන වැඩසටහන ලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ සුවතාව පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින අතර පස්වන සහ හයවන වැඩසටහන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ නීතිමය පැතිකඩ සහ ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳව කතා කිරීම වෙනුවෙන් වෙන් වී ඇත.

සෙනෙහෙබර ආදරණීය පවුලක උණුහුම විඳගැනීම සියලු දෙනාගෙම බලාපොරොත්තුවක්. නමුත් ඇතැම් විට විවිධාකාරයේ ගැටුම්, සිත් රිදවීම් ඔබේ පවුලේ සතුට ඔබෙන් ඈතට ගෙන ගොස් විය හැකියි. සියල්ල ඉරණමට භාර කර සුසුම්ලෑම පසෙක තබා දැනුවත්භාවය තුළින් සුන්දර පවුල් ජීවිතයක සුවය විඳගන්න, දැන හෝ නොදැන ඔබ අතින් සිදු වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට නැවතීමේ තිත තබන්න, උපකාරයක් අවැසි ඔබේ ම හිතවතෙක් වෙනුවෙන් නිවැරදි පාර කියා දෙන්න සුරැකි ඔබ” ඔබට අත්වැලක් වේවි.

බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *