බ්‍රැන්ඩික්ස් සාරධර්ම මතින් පිබිදෙන සොඳුරු කැදැල්ල

බ්‍රැන්ඩික්ස් සාරධර්ම මතින් පිබිදෙන සොඳුරු කැදැල්ල

සමාජ සංස්ථා අතර කුඩා ම ඒකකය ලෙස සමාජ විද්‍යාඥයන් හඳුන්වන්නේ “පවුල” යි. ජීවිතයේ මුල් අවධියේ සිට ම පුද්ගලයෙකුට ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම හා හුරුව ලබා දෙන වැදගත් ම සන්ධිස්ථානය පවුලයි. සතුට, සෙනෙහස, රැකවරණය හා ගෞරවය වැනි දේ සෑම පුද්ගලයෙකු ම සිය පවුල තුළින් අපේක්ෂා කරයි. එමෙන්ම පුද්ගලයෙකුගේ පෞරුෂ වර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් පවුල තුළින් සිදු වේ.

ඒ සඳහා පවුල් පසුබිම තුළ පවතින සාරධර්ම වැදගත් වේ. ‘යමක නිවැරදි බව හෝ වැරදි බව පිළිබඳ අපි තුළ පවතින පෞද්ගලික විශ්වාසයන් හා ඇගයීම්’ සාරධර්ම ලෙස සරලව නිර්වචනය කළ හැක. අප තුළ ගොඩනැගෙන සාරධර්ම පෝෂණය වන්නේ අප ජීවත් වන සංස්කෘතික වටපිටාව තුළිනි. තව ද පවුල තුළ පවතින ආගමික හා සමාජීය විශ්වාසයන් ද සාරධර්ම සංවර්ධනයේ මූලික සාධක වේ.

බ්‍රැන්ඩික්ස් සමූහය තුළ පුරුදු පුහුණු කරන ගෞරවය, අවංකත්වය, කණ්ඩායම් හැඟීම හා විශිෂ්ටත්වය යන සාරධර්ම සාර්ථක පවුලක් ගොඩනැගීම කෙරෙහි බලපාන ආකාරය විමසා බලමු.

ගෞරව කිරීම යනු පවුල තුළ බැඳීම් හා සබඳතා එකට එක්කර තබන පුරුකයි. පවුලක් තුළ ගෞරවකිරීම ආරම්භ වන්නේ එකිනෙකාට ආචාරශීලී වීමෙනි. යම් දෙයකට ඔබ එකඟ නොවන විට හා නොසන්සුන්ව සිටින අවස්ථාවකදී වුව ද අනෙකාට සවන් දීමට ඉගෙන ගැනීම එහි පළමු පියවරයි. පවුල තුළ එකිනෙකාට ගරු කිරීමේ තවත් ක්‍රමයක් ලෙස දුකේදීත් සැපේදීත් එකිනෙකා වෙනුවෙන් සිටීම හා ඔවුන් පිළිබඳ සැලකිලිමත් වීම පෙන්වා දිය හැක. අතපසුවීම්වලදී තරාතිරම නොබලා නොපසුබටව සමාව අයැදීම හා නිරන්තරයෙන් ස්තුතිවන්ත වීම අනෙකාට ගෞරව කිරීමට ඇති තවත් හොඳ ම ක්‍රමයකි.  එකිනෙකාට ගෞරව කිරීම මගින් පවුල තුළ ගැටුම් අවම කර ගත හැකි වන අතර පවුල සතුටෙන් හා ප්‍රබෝධයෙන් පෝෂණය වේ. එය පවුලේ සාමාජිකයන්ගේ කායික හා මානසික යහපැවැත්මට මෙන් ම පවුලේ දියුණුවට ද හේතු වේ. පවුල තුළින් ගෞරව කිරීම ඉගෙන ගන්නා පුද්ගලයන් සමාජයේදී ද අනෙකාට ගෞරව කරනවා මෙන් ම සෙසු අයගේ ගෞරවයට ද පාත්‍ර වන පුද්ගලයන් බවට  නිරායාසයෙන් ම පත් වේ.

අවංකභාවය පුරුදු පුහුණු කිරීමට උගන්වන ස්ථානය ලෙස පවුල හැඳින්විය හැක. පවුල කේන්ද්‍ර කර ගනිමින් සෑම පුද්ගලයෙකුගේ ම සම්බන්ධතා ආරම්භවෙයි. ඒ සෑම සම්බන්ධතාවක ම පදනම විශ්වාසයයි. විශ්වාසය රඳා පවතින්නේ එකිනෙකාට අවංකවීම තුළයි. ප්‍රථමයෙන් අපි, අපිට අවංක වී පවුලේ සාමාජිකයන්ට ද අවංකවීම පවුල තුළ විශ්වාසය ගොඩනැගීමට හා ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. සරල ම උදාහරණ ලෙස පවුලේ තවත් අයෙකුගේ කිසියම් දෙයක් පාවිච්චියට ගන්නා විට ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කර එය ගැනීම, පවුලේ සමාජිකයෙකුගේ රහසක් පවුල තුළ ආරක්ෂා කර ගැනීම වැනි කාරණා පෙන්වා දිය හැක. සිය පවුල තුළ අවංක බව හා විශ්වාසය සුරකින පුද්ගලයන් පවුලෙන් පරිබාහිර සමාජයේ වුව ද අවංකව හා විශ්වාසනීයව කටයුතු කරන්නේ පවුල තුළින් ලැබෙන නිවැරදි ආභාෂය නිසා ය.

අසීරු කාර්යයන්වලදී හා කාලවලදී එකිනෙකා වෙනුවෙන් උදවු කරගැනීම කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ මූලික පරමාර්ථයයි. කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට මූලික අඩිතාලම ලැබෙනුයේ පවුල තුළ එකිනෙකාට උදවු කර ගැනීමෙනි. එක ම පවුලක් තුළ වුව ද එකිනෙකාගෙන් වෙනස් වූ කුසලතා හා හැකියාවන් ඇති පිරිසක් ජීවත් වේ. පවුලේ කටයුතුවලදී තමාගේ භූමිකාවට අනුව සිය කුසලතා හා හැකියාවන් යොදා ගනිමින් දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට උදවු කර ගැනීමෙන් පවුලේ සාමාජිකයන් අතර සාමූහිකත්වය, සුහදත්වය හා එකිනෙකා කෙරෙහි ඇති බැඳීම වර්ධනය වීම පවුල පිළිබඳ ධනාත්මක හැඟීමක් ඇතිවීමට හේතු වේ. අසීරු හා අභියෝගාත්මක අවස්ථාවලදී “මට පවුලක් ම සිටිනවා” යන හැඟීම අසීරුතාවන් මගින් ඇති කරන පීඩනය අඩු කිරීමට සහ සහනයක් ගෙන දීමට ඉවහල් වේ. සරල නිදසුනක් ලෙස නිවසේ කටයුතු පවුලේ සාමාජිකයන් සියලු දෙනා බෙදාගෙන කිරීම දරුවන්ට කුඩා කාලයේ සිට ම වගකීම් සහගත වීමට හා නායකත්වය සඳහා දෙනු ලබන පෙරහුරුවකි. පවුල තුළදී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට පුහුණු වන පුද්ගලයන් සමාජය තුළදී ද යහපත් සමාජ සබඳතා ඇති කරගනිමින් ඒවා මනාව පවත්වාගෙන යයි.

පවුලක් ලෙස විශිෂ්ටත්වය ළඟා වීම යනු පවුල වශයෙන් මෙන් ම පවුලේ සාමාජිකයන් ද තනි තනි වශයෙන් සාර්ථක වීමයි. පවුලේ සාමාජිකයන් එකිනෙකාට ගෞරව කිරීම, අවංකත්වය, කණ්ඩායම් හැඟීම පවුලක් වශයෙන් විශිෂ්ටත්වය කරා ළඟා වීමට අත්‍යවශ්‍ය වේ. එයින් පවුල තුළ සතුට සහ සහයෝගය වඩාත් වර්ධනය වේ.

ඕනෑ ම පවුලක සාමාජිකයන් අතර වන යහපත් බැඳීම එහි සාමාජිකයන්ට මානසික සුවය ගෙන දෙන්නක් වන අතර ඔවුන් ආරක්ෂිතයි යන මානසික හැඟීම ඇති කිරීමට මූලිකව බලපායි. එය පවුල තුළ මූලික අවශ්‍යතා ඉටුවීමක් ලෙස ද පෙන්වා දිය හැක. එබැවින් සාරධර්ම පදනම් කර ගනිමින් ගොඩනැගෙන කුටුම්බයක සාමාජික සාමාජිකාවන්ට තම මූලික අවශ්‍යතා ඉටුකරගනිමින් යහපත් පුරවැසියන් ලෙස ලෝකය ජයගැනීමට එතරම් අපහසු නැත.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *