ජීවිතයට රිදම් එකක් තියාගන්න...

ජීවිතයට රිදම් එකක් තියාගන්න...

වියමන් TV තුළින් ‘හඳුනාගත්තොත් ඔබ මා’ පළමු වැඩසටහනට බ්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදය නියෝජනය කරමින් පර්ෂද මානව සම්පත් කළමනාකරු දමිත් මීවැව මහතා සහභාගී වුණා.

ප්‍රසිද්ධ ආයතනයක මානව සම්පත් කළමනාකරුවෙකු වූ ඔහුගේ පියාගේ සහ පවුලේ ආභාෂය මානව සම්පත් කළමනාකරණය කෙරෙහි ලැබූ දමිත් මීවැව මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් භෞතික විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා ඇත.

“හැම එක්කෙනාගෙන් ම මැරෙනකම් ඉගෙනගන්න තියෙනවා. ඒ අය ගුරුවරු විදියට අරගෙන මම ශිෂ්‍යයෙක් විදියට හැමෝටම ඇහුම්කන් දීගෙන මම සමාජයත් එක්ක ඉන්නවා,” ඒ ඔහු සමාජය විශ්වවිද්‍යාලයක් බවට පත් කරගෙන ඒ හරහා ඉගෙනගන්නා ආකාරය පැවසූ අයුරුයි.

“සමාජයේ අපි ඔක්කොම කළමනාකරුවෝ. යම් දුරකට අපි කළමනාකරණය කරනවා සමාජයේ,” ඔහු පැවසුවේ, සමාජයේ ජීවත් වන සියලු දෙනා මානව සම්පත් කළමනාකරණය ගැන සමාජය තුළදී ම ඉගෙනුම ලබන බවයි.

සමාජය නම් විශ්වවිද්‍යාලයේ නිශ්චිත විෂයන් නොමැති බවත් එහි විෂයන් වෙනස් වන්නේ ජනතාව හරහා ම බවත් ඔහු පවසනවා. පර්ෂද මානව සම්පත් කළමනාකරුවෙකු වන ඔහු පවසන්නේ, එම කළමනාකරණ හැකියාවන් ලබා ගැනීමට සමාජය මහත් පිටිවහලක් වන බවයි.

දමිත් මීවැව මහතා කලාවට ද ලැදි පුද්ගලයෙක්. ගීත කලාව ගතහොත් ගීතයක රිද්මයට නව පරපුරේ බොහෝ දෙනා ඇලුම් කරන බවත් අර්ථය ගැන තැකීමක් නොකරන බවත් ඔහු පවසනවා. “ලෝකෙ බහුතරයක් අද නව පරපුර යන්නෙ රිදම් එකත් එක්ක. සමහර විට එම ගීතයෙන් කියවෙන දේ නෙමෙයි වැදගත් වෙන්නෙ. ඇත්තට ම මේක තමයි තරුණ පරපුර යම්තාක් දුරකට හදාගන්න ඕන,” කියා ඔහු තරුණ පරපුරට උපදෙසක් ලබා දුන්නේ ජීවිතයට රිදමයක් මෙන් ම අර්ථයක් ද තිබිය යුතු බව තරුණ තරුණියන්ට වටහා දී එමගින් ඔවුන්ගේ ජීවිත අර්ථාන්විත කිරීමටය.

පොත් කියවීමට ද රුචිකත්වයක් දක්වන ඔහු දැනුම වර්ධනය කරගැනීම සඳහා පොත් කියවන පුද්ගලයෙක්. පොත් තුළින් සහ අප ආශ්‍රය කරන පුද්ගලයන්ගෙන් මැරෙන තුරු අපට නිදහස් අධ්‍යාපනය ලබනවා සේ මිලක් නොගෙවා අධ්‍යාපනය ලැබිය හැකි බව ඔහු පවසයි. බ්‍රැන්ඩික්ස් ආයතනය යනු විශ්වවිද්‍යාලයක් බවත් මානව සම්පත් කළමනාකරණය යනු එහි එක් විෂයක් පමණක් බවත් ඔහු පවසනවා.

සහකාර කළමනාකාරවරයෙකු ලෙස බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වූ ඔහු වසර තුනහමාරක් වැනි කාලයක් තුළ පර්ෂද මානව සම්පත් කළමනාකාරවරයෙකු ලෙස පැමිණි ගමන් මග සාරධර්ම තුළින් ද පෝෂණය වූ මාර්ගයකි. බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ලබාගත් වටිනා ම දෙය සාරධර්ම බවත් එය තුළින් ප්‍රබෝධවත් සමාජයක් ගොඩනැගිය හැකි බවත් ඔහු පවසනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *