ගිහින් එන්නම් අම්මේ කියලා
ගිලන් රථයෙන් ඇය ගියා
කුසේ සිටි සත්මසක දරුවත්
ඇයත් සමගින් නැග ගියා
ඇඳුම් පැලඳුම් දවස් ගාණට
බෑගයේ අරගෙන ගියා
රෝහලේ සිටි දවස් දහය ම
අම්මා නම් පන්සල් ගියා
එහෙත් එකොළොස්වෙනි උදෑසන
අහස අඳුරින් කළු වුණා
බෝ මලුවෙදි අම්මගේ පය
දෙතුන් පාරක් පැටලුණා
බෝ මලුව නාවන්න ගෙන ගිය
පැන් කලය බිම පෙරලුණා
කියූ සෙත් කවි දෙතුන් පාරක්
මතක නැතිවී වැරදුණා
ගිහින් එන්නම් කියපු මගෙ දුව
යළි නොඑන ගමනක් ගියා
ඇගේ කුසේ සිටි සිඟිති දරුවත්
ඇගේ තනියට එහි ගියා
වනේ වන සතෙකුටත් මේ වැනි
දුකක් නොලැබෙනු කියා
අදත් තෙල් මල් පහන් අරගෙන
දුවේ මම පන්සල් ගියා
සුජීවා දේශප්‍රිය
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය