අයහපත පරදා යහපත ජයගත් දීපාවලී උදාව

අයහපත පරදා යහපත ජයගත් දීපාවලී උදාව

ආලෝක පෙළ’ යන අරුත සහිත දීපාවලී දිනය ලොව පුරා හින්දු බැතිමතුන් සමරන්නේ අන්ධකාරය පරදා ආලෝකය උදාවීම සංකේතවත් කරමිනි. එයින් අදහස් වන්නේ අයහපත පරදා යහපත ජය ගැනීමයි. දීපාවලී දිනයේ නිවෙස් ඉදිරිපිට අලුත් පහන් දල්වා ආලෝක පූජා පවත්වමින් හින්දු භක්තිකයන් දීපාවලී සමරයි. දීපාවලී දිනය සම්බන්ධයෙන් බැඳුණු විවිධ කතන්දර තිබේ.

චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු භක්තිකයන්ගේ නව වසරේ ආරම්භය වන්නේ දීපාවලී දිනයයි. දීපාවලී දිනයේ උදෑසන හින්දු කාන්තාවන් නිවෙස්වල කෝලම් රටා අඳිනු ලබයි. පසුව නිවැසියන් කෝවිලට ගොස් දෙවියන්ට පුද පූජා පැවැත්වීම ආදියෙහි නිරත වේ. දීපාවලී දිනය සම්බන්ධයෙන් ප්‍රචලිත කතන්දර අතරින් එක් කතන්දරයක් වන්නේ නරකාසුර නම් අසුරයා පිළිබඳ කතාවයි. දෙවියන්ගෙන් වර ලබා සිටි නරකාසුර දෙවියන්ට මෙන් ම මිනිස්සුන්ටත් පීඩා ගෙන දෙන අයෙකු බවට පත්ව ඇත. ඔහුගෙන් පීඩාවට පත් දෙවියන් එක්ව විෂ්ණු දෙවියන් වෙත ඒ බව පැමිණිලි කර තිබේ. පසුව විෂ්ණු දෙවියන් හා නරකාසුර අතර ඇති වූ සටනකින් නරකාසුර මියගොස් ඇත.

මිය යන විට ඔහු විෂ්ණු දෙවියන්ට පවසා ඇත්තේ ඔහුට එලෙස වූයේ ඔහුගේ ම වරදින් බවත් ඔහු එය අවබෝධ කරගෙන ඇති බවත් එම අවබෝධය නිසා ඔහුගේ සිත ආලෝකවත් වී ඇති බවත්ය. ඔහුගේ මරණයෙන් පසු සියලු දෙනාට තිබූ පීඩා නැතිවී යහපතක් උදා වනු ඇතැයි ද නරකාසුර එම මොහොතේ පවසා ඇත. ඔහු මියගිය පසු එම දිනය උත්සවාකාරයෙන් සමරන ලෙස ඔහු විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලා ඇත.

එය දීපාවලී සමග බැඳුණු එක් කතන්දරයක් වන අතර තවත් විවිධ විශ්වාසයන් ද දීපාවලී දිනය සම්බන්ධයෙන් ඇත.

ඒ සියලු විශ්වාසයන් අතරේ අන්ධකාරය දුරු වී ආලෝකය, ප්‍රඥාව උදාවන බව සංකේතවත් කරමින් හින්දු භක්තිකයන් දීපාවලී දිනය සමරනු ලබයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *