hindi giyata pem badi kokilawiya

හින්දි ගීයට පෙම් බැඳි කෝකිලාවිය

ළමා වියේදී ගීත ගායනයට පිවිස ප්‍රේක්ෂක හදවත් සොරාගත්, මියුරු හඬකට උරුමකම් කී චම්පා කල්හාරි ජයසේකර නම් ජනප්‍රිය ගායන ශිල්පිනිය වියමන් TV ‘තරුවක් සමග’ වැඩසටහනට මෙවර එක් වුණා. වයස අවුරුදු 11දී ගායන ලොවට පිවිසි ඇය එදා මෙන් අදත් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන තාරකාවක්.

චිත්‍රපට පසුබිම් ගායනයට 1987 වසරේ පිවිසි ඇය චිත්‍රපට 70කට අධික ප්‍රමාණයකට ගීත ගායනයෙන් දායකවෙලා තිබෙනවා. ඒ වගේම ගුවන්විදුලි සංස්ථාවේ පැවති වැඩසටහනකින් ගීත ගායනයට අත්පොත් තැබූ ඇය කැසට්පට 19ක් පමණ නිකුත් කර තිබෙනවා.

බොහෝ දෙනාට චම්පා කල්හාරි කියන නම ඇසූ පමණින් සිහියට නැගෙන්නේ හින්දි ගීත කිව්වොත් නිවැරදියි. හින්දි ගීයට වඩාත් පෙම් බැඳි නිසා හින්දි ගී ගායනයට කුඩා කාලයේදීම පිවිසෙන්නත් ඇයට අවස්ථාව ලැබෙනවා. ජාතික රූපවාහිනියේ පැවති සජීවී වැඩසටහනකදී ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි’ ගීය ගායනා කළ ඇයට හින්දි ගී ගායනයට මග පෑදෙන්නේ ඒ හරහායි. ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි’ ගීය ගායනයෙන් අනතුරුව එහි සිටි එවකට රූපවාහිනී අධ්‍යක්ෂවරයෙකු වූ හෙන්රි ජයසේන මහතා චම්පා කල්හාරි නම් පුංචි ගායන ශිල්පිනියට අවස්ථාවක් ලබා දෙනවා ජාතික රූපවාහිනියේ ගායන වැඩසටහනක් කරන්න. ඒ ලැබුණ අවස්ථාවේදී ඇය පෙම් බැඳි හින්දි ගී එම වැඩසටහනට ගායනා කරන්න ඇයට අවස්ථාව ලැබෙනවා. ඒ විදියට තමයි ඇය හින්දි ගී ගායනයට පිවිසෙන්නේ.

ඇයගේ හින්දි ගී ගායනය ඇසූ බොහෝ දෙනා ඇයට හින්දි ගී හොඳින් ගැළපෙන බව පැවසූ නිසා හින්දි ගී ගායනයෙන් ඇය තව තවත් ඉදිරියට ගියා. ඉන්දියාවට ද ගොස් සංගීතය හැදෑරූ ඇය ‘සත්‍යම් ශිවම් සුන්දරම්’ ගීතයෙන් මෙන්ම තවත් ගීත කිහිපයක්ම ගායනා කරමින් ‘තරුවක් සමග’ වැඩසටහන රසවත් කරන්නටත් අමතක කළේ නැහැ.

ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙමින් රට වෙනුවෙන් නිහඬ සේවයක් ඉටු කරන සහෝදර සහෝදරියන්වත් වැඩසටහන අතරතුර ඇය ආදරයෙන් මතක් කළා. රටේ ආර්ථිකය ගොඩනැංවීමට කොවිඩ් උවදුර මධ්‍යයේ වුව ද විශාල කැපකිරීමක් කරන ඇඟලුම් කර්මාන්තයේ නියැළි සියලු දෙනා අගය කළ ඇය ඔවුන් සියලු දෙනාට සුබ පැතුම් එක් කරමින් රසවත් ගීතයකින්ම වැඩසටහනේ නිමාව සනිටුහන් කළා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *