සුවතාව හෙවත් යහපැවැත්ම යන්නෙන් අදහස් කරන්නේ “හොඳ සෞඛ්‍යයකින් හා උපරිම තෘප්තියකින් ජීවිතය ගත කිරීම” යනුවෙන් සරලව අර්ථකථනය කරන්න පුළුවන්. යහපැවැත්ම බොහෝදුරට රඳා පවතින්නේ ඔබ ජීවත් වන ආකාරය හා ඔබ ගන්නා තීරණ මතයි.
සුවතා චක්‍රය කියන්නේ ඉහතින් සඳහන් කළ පුද්ගලයෙකුගේ ජීවිතයේ යහපැවැත්ම මැනීමට යොදා ගන්නා අංශ අටකින් සමන්විත වූ සුවතා මාදිලියක්. ශාරීරික, චිත්තවේගී, අධ්‍යාත්මික, බුද්ධිමය, සමාජ, පාරිසරික, මූල්‍ය හා වෘත්තීය යනු එම අංශ අටයි. පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක හා සුන්දර ලෙස ගලා යාමට නම් ඉහත අංශ අට සමබර කරගනිමින් දිවිපෙවෙතක් ගතකිරීම අත්‍යවශ්‍යයි.
පවුලක සුවතාව යනු පවුලේ සෑම කෙනෙකුම යහපත් කායික මෙන්ම මානසික සෞඛ්‍යයකින් යුතුව ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම්වල වඩා ඵලදායී ආකාරයෙන් නිරත වෙමින් පවුල තුළ මෙන්ම පවුලෙන් බැහැර පුද්ගලයින් සමග ධනාත්මක හා සෞඛ්‍යසම්පන්න සබඳතා පවත්වා ගනිමින් ජීවත්වීමයි.
පසුගිය ලිපිවලින් අප දැනගත් පරිදි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු පවුලක සතුට හා සැනසීම විනාශ කරන ක්‍රියාවක්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තුළින් සුවතා චක්‍රයේ අංශ කඩාවැටීම සුන්දර පවුලක් අසුන්දරවීමට මූලික හේතුවයි.
උදාහරණයක් ලෙස රැකියාවක් කරන බිරිඳක් මහන්සි වී ගෙදර ගොස් කෑම පිළියෙළ කර දරුවන්ට පාඩම් වැඩ කියා දෙමින් සිටින විට බීමතින් ගෙදර පැමිණෙන සැමියා කෑම රස නැති බව පවසමින් බිරිඳට පරුෂ වචනයෙන් තොර තෝංචියක් නොමැතිව බැණ වදියි. කේන්ති ගිය බිරිඳ ද සැමියාට බැණ වැදීමට පටන් ගැනීමෙන් ඇතිවන රණ්ඩුව ගුටිබැට දීමක් දක්වා ගොස් අවසානයේ ගෙදර බඩු මුට්ටු පොළොවේ ගසා දරුවන්ට ද පහර දෙන තත්ත්වයකට පත් විය හැක. මෙහිදී එකිනෙකා වාචිකව හා පහරදීම් ලෙස කෝපය පිටකිරීමේදී සියලු දෙනාගේ ශාරීරික, චිත්තවේගීය, අධ්‍යාත්මික හා බුද්ධිමය පැතිකඩයන් විනාශ වේ.
තව ද නිතර රණ්ඩු කිරීම නිසා අසල්වැසියන් අතර අපකීර්තියට පත්වීමෙන් හා යහපත් සම්බන්ධතා පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසා සමාජ හා පාරිසරික පැතිකඩයන් ද, ශාරීරික තුවාල නිසා වේදනාවෙන් හා මානසික පීඩා නිසා ඵලදායී ලෙස රැකියාවේ නිරත නොවීමෙන් වෘත්තීය පැතිකඩ ද, අවසානයේ මේ සියල්ල නිසා පවුලේ මූල්‍යමය පැතිකඩ ද මුළුමනින්ම දෙදරා යා හැක.
ඉහත සිදුවීම තුළ ඇති අපිට ඍජුව නොපෙනෙන තවත් බරපතළ කරුණක් වන්නේ චිත්තවේගීය සුවය නැතිවී ඇතිවිට සැනසුම හා මානසික සුවය ලබා ගැනීමට ආගමික කටයුත්තක හෝ යම්කිසි විනෝදාංශයක යෙදීමට සිත නොසන්සුන්වීමෙන් අධ්‍යාත්මික සුවය අහිමි වී සියදිවි අහිමි කරගැනීමට පවා සිතුවිලි පහළ වීමට හැකියාව තිබීමයි.
තව ද මෙවැනි සිදුවීමකට මුහුණ දෙන දරුවන් දරුණු මානසික කඩාවැටීමකට ලක්වන අතර ඔවුන්ගේ අධ්‍යාපනික ජීවිතය ද වියවුල් වේ. මෙය දරුවාගේ වර්තමානට මෙන්ම අනාගතයේ ඔවුන් දෙමාපියන් වූ විට ඔවුන්ගේ පවුල් ජීවිතයට ද අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැක.
පවුල තුළ ද මෙවැනි තත්ත්වයක් සිදුවෙමින් පවතිනවා නම්, එහෙමත් නැත්තනම් ඔබේ හිතවතෙක් මෙවැනි අත්දැකීමකට මුහුණ දෙමින් ඉන්නවා නම්, ඉන් මිදීමට කුමක් කළ යුතු දැයි දැනුවත් වීම අපි හැමෝටම ගොඩක් වැදගත්. අපිට පුළුවන් ඔවුන්ට හොඳින් ඇහුම්කන් දෙමින් ඔවුන්ට අවශ්‍ය වටිනාකම, පිළිගැනීම ලබා දෙමින් ඔවුන් තනි වී නොමැති බව දැනෙන්න දෙන්න.
ඒවගේම ඔවුන්ගේ තීරණවලට ගරු කරන්න, සාක්ෂි සඳහා ඔවුන් මුහුණ දෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා ලියා තැබීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඔවුන්ට ආරක්‍ෂිත ස්ථානයක් සොයා ගැනීමට සහායවන්න. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට අනතුරක් කරගැනීමට හැකි පිහි, කතුරු, කඹ ආදිය ඉවත් කිරීමත් වැදගත්. ඔවුන්ව අර්ථිකමය වශයෙන් ස්වාධීනවීමට දිරිගන්වන්න (උදා: තනි පුද්ගල බැංකු ගිණුමක් පවත්වා ගැනීමට). ඔවුන්ට සහාය විය හැකි වෘත්තිකයන් සොයාගැනීමට ඔවුන්ට උදව්වීමත් අපි හැමෝටම කරන්න පුළුවන් බොහොම වටින දෙයක්.
ඔබට පුළුවන් එවැනි අයෙක් ඔබේ ආයතනයේ මනෝ උපදේශිකාව වෙත යොමු කරන්න. එහෙමත් නැත්තනම් 119 යන දුරකතන අංකය අමතා සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම පිළිබඳ වාර්තා කරන්න. එසේත් නැත්නම් ඔවුන්ව කාන්තා පිහිට ආයතනය (011 267 1411 / 011 471 8585/ 077 567 6555) වෙත යොමු කරන්න.
අවසාන වශයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ඇති බැරෑරුම්කම අවබෝධ කරගෙන ඔබත් ඉන් ආරක්ෂා වී ඔබේ සමීපතමයන් හා ඔබ වටා සිටින සියලු දෙනා ඉන් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක් ලෙස දකින්න. සුරැකි පවුලක් තුළින් සුරැකි සමාජයක් බිහිකිරීමට දායක වන්න.
බ්රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය