ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන පරිදි දියවැඩියාව කියලා කියන්නේ ලෝකයේ සිදුවන මරණවලට ප්‍රධාන හේතුවක්. 2019 අවුරුද්දේ ලෝකයේ සිදු වූ මරණවලින් මිලියන 1.5ක් විතරම දියවැඩියාව නිසා සිදුවෙලා තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති දියවැඩියාව කියන්නෙ නොසලකා හරින්න පුළුවන් ලෙඩක් නෙමෙයි කියන එක.
අපේ ලේවල සීනි මට්ටම වැඩිවීමක් දියවැඩියාවෙදි වෙනවා. ඒකට හේතුව අපේ ලේවල තියෙන සීනි මට්ටම පාලනය කරන්න තියෙන හෝමෝනවල වෙනස්කම්. ගොඩක් වෙලාවට අපේ ආහාර රටාව, ව්‍යායාම වගේ දේවල් හරහා අපිට දියවැඩියාව යම් විදියකට පාලනය කරගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට හිතනව අපි තරුණ නිසා අපිට දියවැඩියාව නැතුව ඇති වයසක අයට විතරයි හැදෙන්නෙ කියලා. ඒත් අද කාලේ වෙනකොට අපේ ජීවන රටාව ගොඩක් වෙනස්වෙලා. ළමා, තරුණ, මහලු භේදයක් නැතුව ගොඩක් ලෙඩ හැදෙන බව ඔයාල අවට ජීවත්වෙන අයගෙ කතාවලින්ම ඔයාලට තේරුම් ගිහින් ඇති. ඒ නිසා අපේ සෞඛ්‍යය ගැන අපි සැලකිලිමත්වෙන එක ගොඩක් වටිනවා. මොකද බරපතළම දේ දියවැඩියාව නිසා එන සංකූලතා. සමහර අයට දියවැඩියාව නිසා සනීප නොවෙන තුවාල ඇති වුණ අවස්ථා ගැන ඔයාලා අහලා ඇති. සමහර වෙලාවට සැත්කම් කරලා පාද ඉවත් කරන්නවෙලා තියෙනවා දියවැඩියාව හැදුන අයගෙ. වකුගඩු ප්‍රශ්න, ඇස් පෙනීමේ ප්‍රශ්න එනවා සමහර දියවැඩියා රෝගීන්ට.
කොහොම වුණත් අපි අපේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙනවානම් අපිට දියවැඩියාව වගේ රෝග පාලනය කරගන්න පුළුවන්. නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන එක, ව්‍යායාම කරන එක වගේ දේවල් මෙතැනදි වැදගත් වෙනවා. ඒ වගේම වෛද්‍ය උපදෙස් ලබාගන්න එක අනිවාර්යයි. මානසික ආතතිය අවම කරගැනීමත් දියවැඩියාව පාලනය කරන්න උදව් වෙනවා. හැම වෙලාවෙම කල්පනා කර කර ඉන්න එක, ආතතියකින් ඉන්න එක දියවැඩියාව වැඩි කරන්න හේතුවක්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. හොඳ සුවදායී නින්දක් ලබාගන්න එකත් වැදගත්.
ඔයා පැණි රස කෑමට ඇබ්බැහිවෙලා ඉන්න කෙනෙක්නම් ලේ පරීක්ෂාවක් කරගෙන ඔයාගේ සීනි මට්ටම බලාගන්න එක හොඳයි. පෝෂදායී ආහාර රටාවකට හුරුවෙන්න. අපිට දියවැඩියාව පරද්දන්න පුළුවන් අපි අපේ නිරෝගීකම ගැන සැලකිලිමත් වෙනවානම්. හැමෝටම සුවදායී ජීවිතයක්!