සේද සළුපිළි මැණික් අභරණ
වත පුරා දිස්නය දිදී
දුරට පෙනුණේ සුදට දිලෙනා
මලක් වාගෙ විල පිපී
රත්තරන් හුය එකට තබලා
දෙන්නගේ දෑඟිලි බැඳී
බාල සන්ධිය සිහිවෙලා ඇගෙ
කඳුළු කැටයක් එළි පනී
අම්මටත් වැඩියෙන්ම ආදරේ
මටයි ඇගෙ පණටත් වැඩී
නුඹට නොසිතෙන දෙයක් වේ නම්
කියයි මට ඈ යළි යළි
ඉඳහිටලා සැරකරන් බැන්නම
ඇයට නුඹ දවසක් රිදී
මා බදාගෙන හැඬුවා වරුවක්
පපුවටම මගෙ ගුලිවෙවී
අකමැතිම දේ ඇගේ කඳුළක්
දකින්නට නම් මට බැරී
ඇය ඉන්නකොට ගේම එළියයි
සතුට උතුරා යයි පිරී
පුරහඳක් මෙන් එළිය දෙනවා
මලක් වාගෙයි කිණිහිරි
පුතේ උඹ අද අරන් යන්නේ
මං රැක්ක පණ මැරි මැරී
පිරිමි හිත් මහමේරු වාගෙලු
දරන්නට හැකි දුක් ගිනී
පපුකැවුතු ගැලවිලා යද්දි
නොහඬා ඉන්නට නම් බැරී
නුඹට තේරෙයි ඉන්න දවසක
දියණියක් කෙදිනක හරී
තාත්තෙක් කෙලෙසකද ඉන්නේ
දුවෙක් යනකොට හැරි හැරී
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය