sarthakathwaye watinakama

සාර්ථකත්වයේ වටිනාකම

Brandix Corporate Campus එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වෘත්තීය ජීවිතයට මෙන්ම පුද්ගල සංවර්ධනයට ද මග කියාදෙන තක්සලාවක්. සාර්ථකත්වයෙන් ඉදිරියට ගොස් ජීවිතය ජයගන්නට සවියක් වන ඔවදන් රැසක් සමග මෙවර ‘ප්‍රබෝධයේ තක්සලාව’ වැඩසටහනට සම්බන්ධ වුණේ Brandix Corporate Campusහි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග දසනායක මහතා. viyaman.lk සමග සාර්ථකත්වයේ ගමන් මග ගැන දසනායක මහතා මේ විදිහට කරුණු පැහැදිලි කළා.

“අපි හැමෝටම ජීවිතේ විවිධ ඉලක්ක තියෙනවා. ඉලක්ක කරා යොමුවීම සහ ඒවා ජයගැනීම තමයි ගොඩක් අය සාර්ථකත්වය විදියට දකින්නේ. වෘත්තිය ජීවිතය, පවුල් සංස්ථාව, සම්බන්ධතා, මූල්‍යමය පැත්ත, මානසික සුවය වගේ විවිධ අංශ තියෙනවා ජීවිතයේ. ඒ සියල්ල වැදගත්. සාර්ථකත්වය තීරණය වෙන්නේ අපි ඒ අංශයට අදාළව සිදු කරන වටිනාකම ජනනය කිරීම මත. අපි කරන රැකියාවකට වැටුපක් ලැබෙන්නේ අපි ජනනය කරන වටිනාකමට අදාළව.

අපේ ජීවිතේ විවිධ භූමිකා තියෙනවා. ඒ සියලු භූමිකා පිරිපුන් වෙන තරමට තමයි කෙනෙක්ට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ඒ හැම භූමිකාවකම තව පාර්ශවයක් ඉන්නවා. උදාහරණයක් විදියට පවුල ගැන හිතුවොත් ස්වාමිපුරුෂයා කියන භූමිකාවේ අනිත් පැත්තේ බිරිඳ ඉන්නවා. පියා කියන භූමිකාවේ අනිත් පැත්තේ දරුවා ඉන්නවා. රස්සාවක් කරනවා නම් ඒකේ අනිත් පැත්තේ තව අය ඉන්නවා. මුලින්ම අපි කවුරු වෙනුවෙන් ද ඒ භූමිකාව රඟ දක්වන්නේ කියන එක තේරුම්ගන්න ඕන. එතකොට කවුරු වෙනුවෙන් ද මේ දේ කරන්නෙ, මොකක්ද කරන්න ඕන කියන එක අපි දන්නවා. අපි තේරුම්ගන්න ඕන අනිත් දේ තමයි භූමිකාවක වටිනාකම තීරණය කරන්නෙ හැමතිස්සෙම ඒ භූමිකාවට අදාළ කෙනා නෙමෙයි. අනිත් පාර්ශවය. රස්සාවකට ගිහින් අපිට ඕන දේ කළාට සාර්ථක වෙන්නේ නැහැ. අපි කවුරු වෙනුවෙන් ද වැඩ කරන්නේ කියන එක තේරුම් අරන් ඒ පාර්ශවය වෙනුවෙන් වටිනාකම ජනනය කරන්න අපි දැනගන්න ඕන.

ඕනෑම භූමිකාවක අපෙන් බලාපොරොත්තු වෙන වටිනාකමක් තියෙනවා. රැකියාවකට කෙනෙක් ගන්නේ වැටුපක් දීලා ඊට සරිලන වටිකනාකමක් ලැබෙයි කියන බලාපොරොත්තුව මත. ඒ කෙනා ඒ වටිනාකමට වඩා අඩුවෙන් වැඩකිරීම තුළ වටිනාකම ලැබෙන්නෙ නැහැ හරියට. එතකොට අපි අසාර්ථකයි. තවත් සමහරු ආයතනය බලාපොරොත්තුවෙන වටිනාකමට හරියන්න විතරක් වැඩ කරනවා. එයාලත් සාර්ථක වෙනවා. ඒත් ඒක සීමා සහිත දෙයක්. ආයතනය බලාපොරොත්තු වෙනවාට වඩා වටිනාකමක් අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් සාර්ථකත්වයේ නියම රහස ඒකයි.

පෞද්ගලික ජීවිතය ගැන සැලකුවොත් සාර්ථක පියෙකු වෙන්න නම් මහන්සිවෙලා හම්බකරලා, දරුවන්ට කන්න බොන්න දෙන එක, අධ්‍යාපනය දෙන එක තමයි යුතුකම කියලා අපි හිතන්නේ. නමුත් දරුවා බලාපොරොත්තු වෙන්න පුළුවන් එයා එක්ක කාලය ගත කරන එක, එයා ඇන්ඳ චිත්‍රයක් දිහා බලලා ඒක හොඳද කියලා කියන එක වගේ දේවල්.

ලෝකයේ සාර්ථකත්වයට පත්වුණ අය කියවීම පුරුද්දක් විදියට කළ අය. එයාලට අනුව වැදගත් වෙන්නේ කියවන එක නෙමෙයි, කියවන්නේ මොනවද කියන එක. ධනාත්මක චින්තනය ගැන කියවන්න යොමුවෙන එක වැදගත්. ඒ දේවල් කියවනකොට අපේ ජීවිතේ ගැන කරුණු ගලාගෙන එන්න ගන්නවා. ඒවා සටහන් කරගන්න. මාසයක් වගේ යනකොට තේරුම් යාවි තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා කියලා. Facebook පාවිච්චි කරනවා නම් ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් හදලා තියෙන පේජ් බලන්න.

කියවීම වගේම ආශ්‍රය කරන අය හරියට තෝරාගැනීමත් වැදගත්. දුප්පතුන් පස් දෙනෙක් එක්ක හිටියොත් ඔයත් දුප්පතෙක් වෙයි. පොහොසත්තු පස් දෙනෙක් එක්ක හිටියොත් ඔයා බොහෝදුරට හයවෙනි පොහොසතා වෙයි කියලා කතාවක් තියෙනවා. ඒ නිසා ආශ්‍රය කරන අයගෙන් මොන වගේ බලපෑමක් ද වෙන්නෙ කියන එක හිතන්න. ඒ වගේම තමන්ගේ සිතුවිලි ගැන අවධානය යොමු කරන එකත් සාර්ථකත්වයට වැදගත්.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *