සුරැකි ලියක් – සුරැකි හෙටක්

ඔබ හෝ ඔබ අවට සිටින්නෙක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වනවා ද? එසේනම් ”සුරැකි ඔබ” ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ එක් අංගයක් වුණ වියමන් ලිපි පෙළෙහි අවසන් ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වන්නේ ඔබ ලක්වී ඇති අසාධාරණයට ඔබට උපකාර ලබාගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳවයි.
 
සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඔබ ලක්වන අසාධාරණයන්ට පිහිට ලබා ගැනීමට ඔබට යා හැකි හොඳම ස්ථානය පොලිසියයි. ඔබ ඇතැම් විට පොලීසියට යෑම ලැජ්ජාවීමක් හෝ පොලිස් නිලධාරීන්  ඔබව නොසලකාහරී යැයි සිතන අයෙක් විය හැකිය. නමුත් එය එසේ නොවේ. මන්ද පොලිසියට ඔබේ ගැටලුව විසඳීමට රාජකාරිමය වගකීමක් ඇත. ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන තුළ “පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය” ලෙස වෙනමම ඒකකයක් පිහිටුවා ඇත්තේ අපහසුතාවලින් තොරව වඩා ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම වෙනුවෙනි. එනිසා ඔබ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වීම පිළිබඳ පොලිස් පැමිණිල්ලක් දැමීම ඔබට ඉන් මිදීමට ගත හැකි පළමු පියවරයි. තව ද ඔබට වන හිංසනය පිළිබඳ පොලිස් පැමිණිල්ලක් දැමීමෙන් ඔබට ඉදිරි නීතිමය කටයුතු සඳහා මගපෙන්වීමක් ද පොලීසියෙන්ම ලබාගත හැකිවේ. (උදා: ඔබ තුවාල ලබා ඇත්නම් රෝහලක් වෙත/ අධිකරණ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම වැනි)
 
පොලිස් පැමිණිල්ලක් දැමීමෙන් පසුත් ඔබ දිගින් දිගටම හිංසනයට ලක්වන්නේ නම් මීළඟට ඔබට ගත හැකි පියවර වන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමයි. අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට සූදානම් විය යුත්තේ කෙසේ ද?
 

  1. පොලිස් පැමිණිල්ලක් දැමීම.
  2. ඔබ හිංසනයට ලක් වූ දින වකවානු ලියා තබාගන්න.
  3. හිංසනයට ලක්වීමෙන් ලැබූ තුවාලවල ඡායාරූප එකතු කර ගැනීම.
  4. හිංසනයකදී ඔබ රෝහල් ගතවූයේ නම් එම වාර්තා, ග්‍රාමසේවක හෝ වෙනත් පාර්ශවයක් ඒ පිළිබඳ දැනුවත් කළ ලේඛන සුරක්ෂිතව තබා ගැනීම.
  5. ඔබට ළඟම අයෙකු ඔබට වන පීඩා පිළිබඳව දැනුවත් කර තැබීම.

 
අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑම දික්කසාදයකට පාර කපා ගැනීමක් යන්න සමාජයේ පවතින මතයකි. නමුත් ගැඹුරින් කරුණු සලකා බැලීමේදී එය එසේ නොවන බව ඔබට පසක් වේවි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ නඩුවක් යොමු වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට වන අතර එහිදී අධිකරණයේ ප්‍රධාන අරමුණ ඔබ ඇතුළු හිංසනයට ලක්වූවන් ආරක්ෂා කිරීමයි. මෙහිදී අතුරු ආරක්ෂණ නියෝගයක් මගින් හිංසනය සිදු කරන්නා අදාළ ස්ථානයට ඒම වළක්වන අතර දෙපාර්ශවයේම මානසික තත්ත්වය, හැසීරීම් රටාවන්, දරුවන්ගේ තත්ත්වය ආදී බොහෝ කරුණු සැලකිල්ලට ගෙන පවුල තුළ ප්‍රචණ්ඩත්වය පාලනය කර සාමකාමීත්වය ඇති කර පවුල නැවත එකතු කිරීමට පියවර ගැනේ.
 
එපමණක් නොව අධිකරණයට යෑම මගින් ඔබට ඉදිරියේදී යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මනෝ උපදේශන හා අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ද, හිංසනයට ලක්වූ දරුවන් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා මගපෙන්වීමක් ද ලබා ගත හැකිය.
 
ඔබත් ඔබේ සමීපතමයෙකු අතින් ප්‍රචණ්ඩත්වයට ලක්වන්නේ නම් ඉන් ආරක්ෂාවීමට ඔබට උපකාරී වීමට බොහෝ පිරිසක් ඔබ අවටම සිටී. ඔබේ ආයතනයේ මනෝ උපදේශිකාව ඔබට ඇති ළඟම උපකාරක අවස්ථාවයි. ඔබේ ගැටලු සඳහා උදවු කළ හැකි අනෙකුත් පාර්ශව හා ස්ථාන වෙත ඇය විසින් ඔබව යොමු කරනු ඇත. තවදුරටත් පහත දුරකතන අංක හරහා “කාන්තා පිහිට” ආයතනයෙන් ද ඔබට උපකාර ලබා ගත හැක.
 
මනෝ උපදේශන – 077 5 676 555

නීති උපදෙස් – 076 8 686 555
 
බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *