හන්තාන සිහිනය - තෙවන පරිච්ඡේදය

මෙතෙක් කතාව

නවසීලන්තයේ ජීවත් වන නිර්මාල්ට උත්තරා නම් සුන්දර තරුණියක් මුණ ගැහෙනවා. තනිව නවසීලන්තයේ වෙසෙන ඔහුට උත්තරාගේ හමුවීම මහත් සතුටක් වුණා. ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. උත්තරා සහ නිර්මාල් දවසක් මුහුදු වෙරළට ගොස් ඔවුන්ගේ ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියා.
 
අද එතැන් සිට…
 
“අපි බස් එකේ යමුද?”

එයාට අපි දෙදෙනා හමු වූ ප්‍රථම දිනය මතක් වෙන්නට ඇති.

“මෝඩි බස් එකේ යන්නේ මොකටද මගේ කාර් එක තියෙන්නේ.”

“ආසයිනේ අනේ”

කෙල්ලගේ මූණ හොඳ නැහැ. බස් එකේ ගියොත් මට ආපසු පැමිණීම තරමක් අපහසු බව ඇයට නිනව්වක් නැහැ වගේ.

“වෙන දවසක බස් එකේ දුර ගමනක් යමු නේද බබෝ. යමු කාර් එක ළඟට.”

එයාගේ දෙනෙත්වල පුංචි කඳුළක් දිලිසෙනවා දැක්කා මම.

ඇයව නිවසට ඇරලවා ජානි ආන්ටි සමග කෙටි පිළිසඳරකින් පසුව  මගේ නිවහන බලා පිටත් වුණා.

පසුගිය දින කිහිපයම මට වැඩ අධික වූ බැවින් උත්තරා ගැන සොයා බලන්නට නොහැකි වුණා. ඇය ද මා සමග කතා කිරීමට උත්සුක නොවුණ බව වැටහුණේ අදට දින සතරක් ගත වූ පසුවයි. තරහවෙලාවත් ද මා සමග යැයි සිතමින් සිටින විට ජානි ආන්ටිගෙන් ඇමතුමක් ලැබුණා.

“හලෝ ආන්ටි කොහොමද ඔයාලට. අනේ පුතේ ඔයා කොහෙද ඉන්නේ. මම ඔෆිස් එකේ.”

“මොකද ආන්ටි ප්‍රශ්නයක් ද?”

“බලන්නකෝ පුතේ උත්තරා අද දවසම කෑම කාල නැතුව ඇති. අද ක්ලාස් ගියා තාම ෆෝන් එක ආන්සර් කරන්නැහැ. මේ ළමයා කොහේ ගියා ද මන්දා. මොකක් හරි අවුලක් වුණා ද?”

“එහෙම නැහැ අපි දෙන්නගේ පොඩි ආගියුමන්ට් එකක් වුණා. නොට් සීරියස්”

“ඒකට ඔච්චර කේන්ති ගන්න ඕන නැහැනේ. ඔයාල දෙන්න තරහ වුණා ද පුතේ?

“එහෙමත් නැහැ ආන්ටි. කොහොමද ඒත් හරියටම කියන්නේ. මෙයා වෙලාවකට හරි සීරියස් නේ ආන්ටි”

“ඒක නම් ඇත්ත පුතේ.”

“හරි ආන්ටි මම  එයාට කතා කරන්නම්.”

“අනේ හොඳයි පුතා එයා ගැන බලන්න.”

“බායි  ආන්ටි”’

දැන් මොකද කරන්නේ ෆෝන්  එක ගනී ද… මම ඇයට දුරකතන ඇමතුමක් ගත්තා.

දුරකතනය නාද වුවත් එයට පිළිතුරු දීමට ඇය පැමිණියේ නැහැ.

මම කිහිප වරක් උත්සහ කළත් සාර්ථක වුණේ නැහැ.

ඇයව හමුවීම වඩාත් සුදුසු බව සිතුන නිසා මම ඉන්ස්ටිටියුට් එකට යාමට තීරණය කළා.

ඇය උගන්වන අධ්‍යාපන ආයතනය මගේ කාර්යාලයට තරමක ආසන්නව තිබීම නිසා කෙටි වෙලාවකින් එතනට යාමට හැකි වුණා. පිළිගැනීමේ නිලධාරිනිය වෙත ගොස් මගේ අවශ්‍යතාව පැවසුවා.

“උත්තරා ග්ලඩ්ස්ටන් ඉන්නවද?” මම ඇයගෙන් විමසුවා.

“ඔව්”

“මට එයාව හමුවන්න පුළුවන් ද?”

“සමාවෙන්න සර්, දැනට එයා එළියට ගිහින් ප්‍රොජෙක්ට් එකකට”

“එයා කොලේජ් එකට එන්නේ කීයට ද?”

“ලන්ච් ටයිම් එකට එනවා” ඇය දැන්වුවා .

“බයවෙන්න එපා සර්, ඉක්මනට ඒවි. සර්ට පුළුවන් ද පැය භාගයක් විතර ඉන්න ලොබි එකේ?”

“ස්තුතියි මම එළියට ගිහින් එන්නම්. එයාට කියන්න මම එනවා කියලා.”

දැන් ලන්ච් ටයිම් එක පහුවෙලා. මාස ගණනාවකින් නිවාඩුවක් ලබා නොසිටි මම දින භාගයක නිවාඩුවක් ලබාගෙන එළියට පැමිණියා . එහෙත් ඇය පැමිණීමට තවත් වෙලා ගතවන බැවින් මම ආයතනයෙන් පිටතට  පැමිණියේ වෙනත් වැඩක් ද තිබූ නිසාය. ආන්ටිට කියන්න ඕන. මම  ඇයට දුරකතන ඇමතුමක් දුන්නා.

“ආන්ටි  උත්තරා එළියට ගිහින් ස්ටුඩන්ට්ස්ල කට්ටියක් අරගෙන. මම එයාව අරගෙන එන්නම් ආන්ටි. ඩෝන්ට් වොරි”

“අනේ හොඳයි පුතා, ඔයා ඉඳලම එයාව අරගෙන එන්න.”

මම පිළිගැනීමේ නිලධාරිනිය වෙත ඇයට දෙන ලෙස පණිවුඩයක් තබා එළියට පැමිණියා.

පැයකට පමණ පසුව මගේ දුරකතනය නාද වුණා. ඒ උත්තරාගේ හඬ. ඇය විගසින් එළියට පැමිණෙන බව පැවසුවා. මම එසැණින් කොලේජ් එක අසලට ගොස් ඇය එනතුරු මග බලාගෙන සිටියා. ඇයගෙන් විමසීමට බොහෝ දේ මවෙත තිබුණා. ඇයටත් එසේ දැනෙන්නට ඇති. එහෙත් ඇයට කඩිනමින් නිවස බලා යාමට වුවමනාව තිබුණ බැවින් අපි දෙදෙනා වැඩි කතාබහක් නොමැතිවම ගමන ඇරඹුවා.

මද දුරක් පැමිණෙන විට ඇගේ නෙතු අග කඳුළු කැට දිස්වන්නට වුණා. දැන් නම් කතා නොකරම සිටිය නොහැක.

“කියන්න උත්තරා ඔයාට මොකද වූණේ? කියන්න නංගි”

“මට මොනවත් වෙලා නැහැ.”

“එහෙනම් මොකද මේ අඬන්නේ “

එවිට ඇයගේ හැඬීම වඩාත් තීව්‍ර වුණා. මම වාහනය පසෙකින් නතර කර ඇයව උරහිසට වත්තම් කර ගත්තා. ඇගේ සුසුම් මා සිරුර පුරාම ගමන් කරමින් ඇගේ සිත තුළ කැළඹෙන හැඟීම් මා වෙත මුදා හරිනු ලැබුවා. ඇයගේ හදවතේ ගැස්ම මා බියපත් කළා.

“උත්තරා… නංගි කියන්න ඔයාට මොකද වෙලා තියෙන්නේ?”

ඇඟිලි තුඩින් මා ඇගේ කෙහෙරැලි හෙමිහිට පිරිමදිමින් ඇයව මා වෙතම රඳවා ගෙන සිටියා. පුංචි දැරියක් වගේ ඇය මාවෙත තුරුලු වී කඳුළු සලන්නට වුණා. මම ඇයට රිසි සේ හඬන්නට ඉඩ දී නිහඬව මගේ උණුසුම ඇයට පිරිනැමුවා.

මගේ උරහිස උණුසුම් කඳුළුවලින් තෙත් වුණා. ඒ කඳුළුවලින් බොහෝ දේ පවසන්නට ඇති.

“නංගි මොකද මේ… කියනවකො ළමයෝ. ඔයා හොඳටම තේරුම් ගන්න ඕන නංගි ඔයාගේ ඕනෑම දේකට මම ඉන්නවා. ඔයාව තනි කරන්නැහැ මම.”

“ඔයා ඔය ඇත්තමද කියන්නේ? ඔයාට විශ්වාස නැද්ද? බලන්න මගේ මුහුණ දිහා”

“ඉතින් ඇස් දිහා බලන්න”

“ඔන්න බැලුව”

“හරි දැන් කියන්න මාව බලාගන්නවා කියලා”

ඉතාමත් හැඟීම්බර මොහොතක අප දෙදෙනා නිහඬ වුණා. ඇගේ ඇවිටිල්ලට මම ඈ දෙස බලාගෙනම ඇයගේ ගෙල දෙපසින් අල්වා ගෙන මා වෙත නැඹුරු කර ගත්තා. ඇගේ දෙනෙත් දෙස එක එල්ලේම මගේ දෙනෙත් යොමා, ඇයගේ විශ්වාසය උදෙසා මා ඇයට පොරොන්දු වුණා.

“මම ඔයාව හැමදාම බලාගන්නවා සුදු නංගි”

“නිර්මාල් අයියේ…” ඇගෙන් මට උණුසුම් හාදුවක් ලැබුණි. එය මගේ මුළු සිරුර පුරාම දුව ගොස් ඒ පොරොන්දුව සිරුරේ සියලුම ඇටමිදුළු පුරා තැන්පත් වූ වගකීමක් වුණා.

නැවතත් හාදු වැස්සක්…එහෙත් මම ඇයට ඉඩදී නිහඬව සිටියා. ඇයටත් කිසිත් පැවසීමට නොසිතුනා විය හැකිය. මම රථය පණගන්වා අපේ ගමනාන්තය වෙත ධාවනය කළා. අපි විනු කැෆේ එක වෙත පැමිණෙන විට තරමක් සවස් වී තිබුණා.

ඇයගේ නිවස අසලට එනතුරු අපට නිනව්වක් නොමැතිව ගෙවී ගොසින්. රථය ගාල් කළ පසු මම ද නිවස දෙසට පියමන් කළා.

ආන්ටි මග බලාගෙන ඉන්නවා. එහෙත් උත්තරා කිසිත් නොදොඩා නිවස තුළට ගියා. ආන්ටි  මා හට රාත්‍රී ආහාරය ගැනීමට ආරාධනා කළා. ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු එම නිවසේ පිහිටි අමුත්තන්ගේ කාමරය මා හට පිරිනමමින් වොෂ් එකක් දමාගැනීමට අවස්ථාව සලසා දුන්නා. එදා කලබල දිනයක් වූ බැවින් මා  ඇඟ සෝදා ගැනීමෙන් පසු කාමරයේ සඳලු තලය වෙත පියමන් කළේ ගැහැනුන් දෙදෙනාම කාර්ය බහුල වන්නට ඇතැයි උපකල්පනය කරමින්ය. පැයකට ආසන්න කාලයක් ගතවුණා. ඉන් සුළු වෙලාවකට පසුව උත්තරා  මම සිටින තැනට පැමිණියා. මම තිගැස්සුණා. ඇය වෙතින් හමා ආ වත්සුණු සුවඳ සුපිපුණු මල් යායක් මා ඉදිරියේ මවනු ලැබුවා. මම ඇය අසලින්ම අසුන් ගත්තා. ඇයගේ රූසපුව, ඇය හැඳගෙන සිටි ඇඳුමෙන් වඩාත් සුන්දරවෙලා තිබුණා.

“උත්තරා ඔයා හරි ලස්සනයි නේ කෙල්ලේ”

“ආ…ආ…ඇත්තද? ඔයා අද ද ඒක දැක්කේ”

“ඇත්තටම ඔව්. ඔයා මෙච්චර ලස්සනයි කියල මට පෙනුනේ නැහැනේ කෙල්ලේ.

“යස්. බ්ලයින්ඩ් පීපල් කාන්ට් සි ජෙම්ස්”

“අවසර නැතුව ඔයා දිහා බලන්නත් බැහැනේ ළමයෝ”

“හරි දැන් කවුද අවසර දුන්නේ”

“ඔයානේ.”

“කොහොමද දන්නේ. එහෙම නැත්නම් මේ අසරණ කොල්ලෙක් ළඟට මේ විදිහට ඩ්‍රෙස් කරගෙන එනවද?”

“කපටියා…හිතල තියෙන දේවල්” ඇය මා වෙත තවත් ළං වුණා.

මා ඇගේ හිස පිරිමැද්දා. ඇයගේ මුහුණේ සුන්දර සිනහවක්… අපේ අමනාප බව පහව ගොස් ඇත.

“මොකද ඔයා තරහවෙලා වගේ හිටියේ උත්තරා.”

“ඔයා දන්නෙම නැහැ”

“ඔව් ඔයා හිතපු විදිහ හරියටම මම දන්නේ නැහැනේ සුදු”

“ඔයාට මාව තේරුම් ගන්න බැරිද අයියේ? මම තාත්තගේ රැකවරණය නැතුව හැදුණේ”

“ඔව්”

“ඉතින් ඔයා මගෙන් ඈත් වෙලා හරියනවද? මාව බලාගන්න ඕනනේ”

“මම බැහැ කිව්වද? ඔයාට මම පැහැදිලිව ඒ ගැන කියල තියෙන්නේ. ඒ ගැන ඩවුට් එකක් තියාගන්න එපා”

කෙසේ වෙතත් නිදහසට කාරණා පැවසීම අවශ්‍ය නැතැයි සිතුන හෙයින් මම එම මාතෘකාව මග හැර වෙනත් දෙයක් වෙත අපේ අවධානය යොමු කළා.

උගත් ගැහැනියක් වුවත් සංවේදී කාරණාවලදී පොඩි ළමයින් වගේ හැසිරීම හරි පුදුමයි.

ආන්ටි අපට රාත්‍රී ආහාරය සූදානම් කරලා. එහෙත් ඇය අප හා එක් වූයේ නැත. ඇය මා හට රහසින් පැවසුවේ උත්තරා සමග මද වෙලාවක් තනිව කතා කර ඇයගේ හිත හදන ලෙසයි. අප හට රාත්‍රී ආහාරය සඳලු තලය වෙතම සුදානම් කර තිබුණා. කෑම මේසය අලංකාර කිරීමට තබා තිබූ වයින් වීදුරු දෙක සීතල නැති වෙන්නත් එක්ක අපට උපකාරයක් වුණා.

මා කිසිදාක ගැහැනියක් ඉදිරිපිට මත්පැන් පානය කර නොමැති වුව ද එදා ටිකක් බොන්නම සිතුනා. එසැනින් උත්තරා වීදුරුවෙන් අඩක්ම පානය කර අවසන්. තවත් වයින් විදුරු දෙකක් අප වෙත ලැබුණා. අපේ කතාබහ දිගු වෙලාවක් ගත වනතුරු පැවතුණා. මම පසුගිය දිනක ඇය සමග නොපැමිණීම කෙල්ලට හොදටම හිතට වැදිලා. අම්මා ගැන කියූ දෙයින් එයා හිතල තියෙන්නේ මම එයාව බලාගන්න ඉන්න එකක් නැහැ කියල. අනාරාධිතවම ඇය මා වෙත ග්‍රහණය යොමුකර ඇති බව වැටහුණා.

මම එම අවස්ථාව පිළිබඳ කරුණු පැහැදිලි කළා. දිගු වෙලාවක් පැවති අපේ සාකච්ඡාව සාර්ථක වුණා. ඇයට හරි හැටි කරුණු අවබෝධ වූ බව ඇගේ හැසිරීමෙන් හා මුහුණේ ඉරියව්වලින් පිළිබිඹු වුණා. ගැහැනුන්ට යමක් තේරුම් කිරීම ලෙහෙසි නැහැ. මම මටම කියාගත්තා.

“මොකක්ද අයියේ කිව්වේ?”

“නැහැ මම ඔයාට පරණ කතාවක් කියන්නද කියල හිතුවේ”

“මොකක්ද ඒ?”

“ඉන්නකෝ කියන්න”

පරණ විහිළු කතාවකින් ඇය රසගන්වන්නට උත්සහ කළා. ඇයට සියල්ල අමතක වුවා සේ මහා හඬ දී සිනහ නගන්නට වුණා. නිවසේ ඈත කොණක සිටි ජානී ආන්ටි ද ඇයගේ සිනහ හඬ ඇසී දිවවිත්  අප ආ එක්වූවා. උත්තරාගේ සිනහවට ජානි ආන්ටිත් බොහෝ සෙයින් සතුටුයි. ඉන් පසු අපි  තිදෙනාම ඇස්වලින් කඳුළු එනතුරු නොයෙක් දේ පවසමින් මහා හඬින් සිනාසුණා. ඒ සිනහව අපේ වසන්ත සිනහවයි… මලින් බර පරිසරය සොභාමත් කළ මල් සුවඳ රාත්‍රිය ගන අඳුර සිසාරා දිවවිත් අප වටා  එකතු වෙමින් පැවතුණා.  ජානි ආන්ටි නැවතත් අප තනි කර ඉවත් වුණා. රසවත් ආහාරය සමග එක් කළ රෙඩ් වයින් එක අපේ විඩාවන් මග හරිනු ලැබුවා.

ආහාර ගැනීමෙන් පසුව ඇය අසුනෙන් නැගිට බැල්කනියේ එක් පසෙකට වන්නට වී ඈත කඳුයාය දෙස බලාගෙන නැවතත් සුසුම්ලන්නට වුණා. දෙව් ලොවින් මනු ලොවට වැඩි සුන්දර අප්සරාවක් ලෙසින් ඇය මා අභියස සිටගෙන සිටී. ඇයට ළංවන්නට බිය වුවත් ඇය එයට රුචියක් ඇති බව මට වැටහුණා.  ඇයට අවශ්‍ය වූයේ සෙනෙහස හා රැකවරණයයි. මා ඇය අසලට ගොස් මගේ සුරතින් ඇයව මා වෙත ළං කරගනු ලැබුවා. ඇය තිගැස්සුනත් මා ඇය අසල බැවින් නිසොල්මනේ සිටින්නට ඇති. මම ඇයට මා හදවතේ ශක්තිය ළං කළා. මුවැත්තියක් මෙන් ඇය මා වෙත නැඹුරු වී ඈත කොහෙදෝ බලාගෙන සිටියා.
 
මතු සම්බන්ධයි.

බිමල් පීරිස්

ප්‍රවාහන අංශය – ප්‍රධාන කාර්යාලය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *