සුහද කතා ගෙන දේ සැනසුම්

වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහනට මෙවර බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රශංශනී මහත්මිය සහභාගී වුණා. ගීත ඇසීමට ප්‍රිය කරන ඇය, මෑත කාලයේ ජනප්‍රිය වූ ගීතයකින්ම ජීවිතයට වටිනා පාඩමක් කියා දී කතාබහට එක් වුණා.
 
“මනෝ උපදේශිකාවක් විදියට කතා කළොත්, අර්ථයත් එක්ක ගත්තම උපදේශයක් දෙන්න පුළුවන් ගීතයක් තමයි මෑත කාලයේ ජනප්‍රිය වෙච්ච ‘හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ’ කියන ගීතය. ඒක ඇතුළෙ තියෙනවා ලොකු පණිවුඩයක්.
 
ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නේ අපි ඒ ප්‍රශ්නය සහ ප්‍රශ්නය ඇතිවෙන්න හේතුව තේරුම් නොගත්ත හින්දා. ඔය ගීතයෙත් කියන්නෙත් අපි කොයි තරම් ආදරෙන් හිටියත්, හිතින් ළඟ නැත්නම්, අපි කොච්චර එයාව ළඟ තියාගත්තත් එතැන ආදරයක් නැහැ, ඒ ආදරයෙන් තේරුමක් නැහැ කියලා.
 
අපි ආදරය කරනකොට හිතින් ආදරය කරන්න ඕන. එක තැනකදි හරි ඒ හිතේ තියෙන ආදරය බිඳුණොත්, හිතින් අපිට අනිත් කෙනාව අත හැරුණොත් මම හිතන්නේ ඒ ආදරය කොච්චර ළඟ හිටියත් අපිට දැනෙන්නේ නෑ. ඔය දේ තේරුම් ගන්නවා නම් අපිට ප්‍රශ්න හරි අඩුයි.
 
ඒ වගේම ප්‍රශ්නයක් ආවම එන පළමු හැඟීමෙන් තමයි අපි වැඩ කරන්නේ. ප්‍රශ්නයක් ආවම අපිට එන පළවෙනි හැඟීම තමයි දුක හෝ තරහ. ඒකත් එක්ක තමයි අපි ඒ ප්‍රශ්නෙට දක්වන ප්‍රතිචාරය තීරණය වෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් ආවම එන දුක හෝ තරහ කියන හැඟීම් එක්ක තීරණ ගන්නවට වඩා ඒ හැඟීම් පොඩ්ඩක් මග හරින්න අපිට පුළුවන් නම් හොඳයි.
 
අපේ සාමාජික සාමාජිකාවන්ට හොඳ අවස්ථාවක් තියෙනවා ඒ වගේ වෙලාවට. අපේ හැම ආයතනයකම ඉන්නවා මනෝ උපදේශිකාවන්. තමන්ට ගැටලුවක් තියෙනවා නම්, ඒකට උත්තරයක් හොයාගන්න තමන්ට තේරෙන්නේ නැත්නම්, දුක හෝ තරහ පාලනය කරගන්න තේරෙන්නේ නැත්නම් ආයතනයේ මනෝ උපදේශිකාව හමුවෙලා ඒ ගැන කතා කරන්න පුළුවන්. පළමු හැඟීමෙන් ක්‍රියාත්මකවෙලා වැරදි තීරණයක් ගන්නවට වඩා ඇතිවෙලා තියෙන ප්‍රශ්නය අවබෝධයෙන් වටහා ගන්න එක වටිනවා. ඒකට හේතුව සමහරවිට අපි හිතන්නේවත් නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට හේතුව හරියට හොයාගන්න, ඉදිරියට ගන්න ඕන පියවර තීරණය කරන්න මනෝ උපදේශිකාවන් එක්ක ඒ ගැටලු ගැන කතා කරන එක හොඳ අවස්ථාවක් අපේ සාමාජික සාමාජිකාවන්ට.
 
පවුල් ජීවිතේ පුංචි පුංචි ප්‍රශ්න ඇතිවෙනවා සාමාන්‍යයෙන්. සමහර වෙලාවට ප්‍රශ්න ඇති වෙන්න හේතුව තමයි ආදරේ කරන කාලේ වගේ නෙමෙයි විවාහ වුණාට පස්සෙ අනිත් කෙනා වෙනස් කියලා හිතෙන එක. ඒ වෙනසට සාධාරණ හේතු තියෙන්න පුළුවන්. පොඩි උදාහරණයක් කියන්නම් ඒකට. ආදරය කරන කාලේ ඕනවට වඩා සීමා දාපු කෙනෙක් විවාහයෙන් පස්සේ ඒ සීමාවලින් තමන්ගේ සහකරු හෝ සහකාරිය නිදහස් කළා වෙන්න පුළුවන්. එතකොට අපිට දැනෙන්නේ මෙයා දැන් වෙනස්වෙලා, දැන් මට ආදරේ නෑ වගේ හැඟීමක්. ඒ ගැන රණ්ඩුවෙන්නේ නැතුව ඒ කෙනා එක්ක සුහදව කතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැතුව අපිම ප්‍රශ්නේ හිතලා, අපිම තීරණ ගන්න එක නෙමෙයි කරන්න ඕන.”
 
ඇය කිව්වා වගේම ඔයාට ගැටලුවක් තියෙනවා නම්, ඒකට උත්තරයක් හොයාගන්න බැරුව නම් ඉන්නේ, ඔයාගේ ආයතනයේ මනෝ උපදේශිකාව එක්ක කතා කරන්න. ඒ හරහා ඔයාගේ ගැටලුවට විසඳුමක් හොයාගන්න ලේසියෙන්ම පුළුවන්වෙයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *