නාඩගම්කාරයෝ හැඩකරන කටකාර ‘සුද්දා’

වියමන් TV සමග මෙවර කතාබහට එක් වුණා මේ දිනවල ඉතා ජනප්‍රිය තරුවක්. ඒ තමයි ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘සුද්දා’ගේ චරිතයට පණ පොවන විරාජ් දනූෂ විතානගේ. ‘නාඩගම්කාරයෝ’ තුළින් විශාල ජනප්‍රියත්වයක් ලබා තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන ඔහුගේ උපන් ගම විලච්චිය, පේමඩුවයි. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකම රූගතකිරීම්වල නිරත වන ඔහු රංගන ක්ෂේත්‍රයෙන් පමණක් නොව ඉදිරියේදී නිවේදකයෙකු ලෙසත් කලඑළි බහින්න සූදානම්.
 
“අනුරාධපුරයේ ඉඳලා කිලෝමීටර් 33ක් වගේ ඇතුළට ගියාම තියෙන විලච්චිය, පේමඩුව නගරයේ තමයි මම උපන්නේ. අවුරුදු 18ක්, 19ක් වගේ කාලයක් හැදුණෙ වැඩුණෙ ඒ ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයත් ඉවහල් වුණා මට මේ තැනට එන්න.
 
මම මේ ක්ෂේත්‍රයට එන්න මූලික වෙන්නේ මගේ අම්මා. අම්මා ඉස්සර කලාවට හරි ආසාවෙන් ඉඳලා තියෙන්නේ. අම්මට කලාවට එන්න ඉඩක් ලැබිලා නැහැ. ඒ නිසා අම්මා මම හරහා තමයි අම්මගේ හීනේ දකින්න උත්සහ කරල තියෙන්නේ. අම්මා මාව මුලින්ම නැටුම් ඉගෙන ගන්න යොමු කරනවා. මම ඒකෙන් ජයග්‍රහණ ගොඩක් ලබා ගත්තා. ඉන්පස්සෙ නාට්‍ය කළා මම. මම උසස් පෙළ හැදෑරුවෙ වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ. දවසක් ‘ඒ ලෙවල්’ චිත්‍රපටයට ළමයි තෝරගන්න අපේ ඉස්කෝලෙට ආව අවස්ථාවේ මම ඒකට තේරෙනවා. මාව ඒකට තේරුණා කියලා කෝල් එක ආවම මට ගේ වටේ දුවලා ගම වටේ දුවලා කියන්න තරම් සතුටක් දැනුණෙ.”
 
‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘සුද්දා’ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන වියමන් TV සමග ඔහු පැවසුවේ මෙවන් අදහසක්.
 
“මට මේක ඇත්තටම මැජික් එකක් වගේ. මම බලාපොරොත්තු වුණාටත් වැඩිය මිනිස්සු මාව දකින දකින තැන කතා කරනවා. මම මාස්ක් එක දාගෙන හිටියත් කොණ්ඩෙන් හරි මිනිස්සු මාව අඳුනගන්නවා. විරාජ් කිව්වම මිනිස්සු දන්නෙ නෑ, ඒත් ‘සුද්දා’ කිව්වම මුළු රටම දන්නවා වගේ එකක් ඇවිත් තියෙනවා. ‘සුද්දා’ කියන චරිතෙ ගත්තොත් මොළේ කල්පනා කරලා තැනකදි අවශ්‍යම දේ කියන චරිතයක්. මට හම්බවෙන හැම චරිතයකටම මම හරි ආදරෙයි.”
 
මම හිතුවේ කලින්, මේ වයසෙදි මේ තැනට ආවොත් හොඳයි වගේ එකක්. ඒත් දැන් ඒ හිතුව වයසට කලින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දි හරිම සතුටුයි. මගේ වයස අවුරුදු 22යි දැන්.”
 
මේ කතාබහ අතරතුර බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් ගැන මතක් කරන්නත් ඔහු අමතක කළේ නැහැ. “අපි ලස්සනට අඳින්නේ, ෆැෂන් කරන්නේ මෙයාලා නිසා. රටේ ආර්ථිකය ඉහළ නංවන්නේ මේ අය. මෙයාලා මට ආදරේ කරනවට වඩා මම මෙයාලට ආදරෙයි.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *