කලබල යකා

අපේ ජීවිතේ  හරිම  පුදුමාකාරයි. පොඩි වෙලාවක් ඇතුළත  අපි කරන පුංචිම දෙයකින් වුණත් අපේ ජීවිත කණපිට හැරෙන්න පුළුවන්. අපේ  ජීවිත  ඉස්සරහට යන්න වගේම  පස්සට යන්නත්  අපි කරන කියන දේවල් පුදුමාකාර විදිහට බලපානවා.

එක දවසකට විතරක් අපි වටේ කොච්චර නම් දේවල් සිද්ධ වෙනව ද? එහෙම වෙද්දි ඒ දේවල් ගැන අපේ හිතට එක එක විදිහේ  හැඟීම් පහළ වෙනවා. ඒ හැඟීම සතුටක්, දුකක්, තරහක් වෙන්න පුළුවන්. හිතට දැනෙන මේ හැඟීමත් එක්ක අපිට එන විවිධ අදහස් ක්‍රියාත්මක කරන්න අපි පෙළඹෙන්නේ අපිටත් නොදැනීමයි.

සමහර අදහස්  අපි ක්‍රියාත්මක කරන්නේ කාලයක් හොඳට හිතලා බලලා. තව සමහර අදහස් අපි හරි කලබලෙන් ක්‍රියාවට නංවනවා. හැබැයි ඉතින් අපි දුර දිග හිතන්නේ නැතුව කලබලෙන් තීරණයක් ගත්තොත් ලොකු විනාශයක්, පාඩුවක් වගේම හිත් අමනාපකම් වුණත් ඇති වෙන්න පුළුවන්.

අපි නිවුස්වල නිතරම දකිනවනේ හදිසිය නැත්තම් කලබලය නිසා සිද්ධ වුණ අනතුරු, රණ්ඩු සරුවල් වගේ  දේවල්. ඒ හැම වෙලාවකම මට හිතෙන දෙයක් තමයි “ඇයි මේ මනුස්සය කලබල යකාට ඉඩ දුන්නේ? අනේ තව ටිකක් කල්පනා කළා නම්, ඉවසුවා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ කියන එක.

නමුත් ඔය කලබල යකා ඔළුවට ආවම අපිට හිතෙන්නේ අපි ගන්නෙ හරිම තීරණය කියලා. අනිත් අය කොච්චර කිව්වත්, අපිට හරි පාර පෙන්නන්න හැදුවත්, ඒ වෙලාවට ඒ දිහා බලන්නවත් අපි ලෑස්ති නෑ. පාඩුව වුණාට පස්සේ තමයි ගත්ත තීරණේ හොඳ නරක පේන්න පටන් ගන්නෙත්, පසුතැවෙන්න පටන්ගන්නෙත්.

ඒත් සමහර කාරණාවලදී ඒ වෙනකොට අපි ගොඩක් පරක්කු වැඩිවෙලා තියෙන්නත් පුළුවන්. අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නෑනේ. පාඩුව හරි විනාශය හරි වුණාට පස්සේ සමහර වෙලාවට කරන්න දේකුත් නෑ.

මේ ලියන මමත්, කියවන ඔයත් ජීවිතේ එක සැරයක් හරි කලබලේ තීරණ අරගෙන ඇති. ඒ තීරණ නිසා සතුටු වුණා වගේම නිවී සැනසිල්ලේ දුක්වෙලත් ඇති. ඒ නිසා එක පාර හිතට එන අදහස්, හැඟීම්වලට වහල්වෙලා, ඔළුව ඇතුළේ ඉන්න කලබල යකාව එළියට ගෙන්න ගන්න කලින්  එකපාරට සියපාරක් හරි කල්පනා කරන්න. ලැබෙන ප්‍රතිඵලය මොන වගේ වෙයි ද නැවත නැවතත් හිතන්න.

ජීවිතේ මුහුණ දෙන්න වෙන ඕනෑම අභියෝගයකදී තීරණයක් ගන්න කලින් හිතල බලන එකෙන් කවදාවත් පාඩුවක් නම් වෙන්නෙ නෑ. ඒ නිසා ඕනම කලබලයකදි දුර දිග හිතන එක පුරුද්දක්  කරගන්න. ඉන් ඔබේ ජීවිතය වඩාත් සුන්දර වේවි.

යසස්මි තුඩුහේන

මනෝ උපදේශිකා – බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *