සිහිනය හඹා යන්න ඉලක්කයට විදිමු

සිහින හඹාගෙන යද්දි අපිට ඒ සිහිනය, සිහිනයක් පමණක් නොවී සැබෑවක් කරගන්න නම් අපි ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරන්න ඕන. ගොඩක් අයට නොතේරෙන දෙයක් තමයි තමන් දකින සිහිනය කොහොමද සැබෑවක් කරගන්නේ කියන එක. මෙවර වියමන් TV ‘ප්‍රබෝධයේ තක්සලාව’ වැඩසටහනෙන් කතා කරන්නේ අපි දකින සිහිනය දිනාගන්න නම් මොකක්ද කරන්න ඕන කියන එක ගැන. ඒ ගැන කතා කරන්න Brandix Corporate Campus ආයතනයේ Center for Apparel Technology and Business Excellence හි අංශ ප්‍රධානි චාමිකර ජයකොඩි මහතා තමයි ‘ප්‍රබෝධයේ තක්සලාව’ වැඩසටහනට එක් වුණේ.

අපි හැමෝටම ජීවිතේ විවිධ සිහින, බලාපොරොත්තු තියෙනවා. බලාපොරොත්තු සැබෑවක් කරගන්න නම් එවා ඉලක්ක කරා ගමන් කරවන්න ඕන. ඉලක්ක කියන්නේ අපි අනාගතයේ යන්න කැමති ස්ථානයක් කියලා කියන්න පුළුවන්. හොඳ රැකියාවක් කරන එක, රැකියාවෙන් ඉදිරියට යන එක, නිවසක් හදාගන්න එක, වාහනයක් ගන්න එක, දරුවන්ට හොඳට උගන්වන එක, මේ වගේ ඉලක්ක ගොඩක් අපිට තියෙනවා. බලාපොරොත්තුව, එහෙම නැත්නම් සිහිනය කියන දේ ඉලක්කයක් බවට පත් කරද්දි කාලය, ශ්‍රමය, ශක්තිය යොදවන්න වෙනවා අපිට. ඒ වගේම තමයි සැලසුමක් සහිතවයි අපි වැඩ කරන්න ඕන.

ලෝකයේ සාර්ථක වුණ හැම පුද්ගලයෙකුටම වගේ සැලසුමක් ඇති ඉලක්ක තිබුණා. වැදගත්ම දේ තමයි අපිට තියෙන ඉලක්ක ලියාගන්න එක. ඉලක්කය හිතේ තිබුණා වුණත් ඒක වෙනම ලියන එකෙන් අපේ හිතේ තියෙන චිත්‍රය ගැන අපි තර්කානුකූලව හිතන්න ගන්නවා ඒ දේ හරි ද, වැරදි ද කියන එක ගැන. ඒකෙන් අපේ ඉලක්කය නිශ්චිත වෙනවා. ඒ වගේම ඉලක්ක ලියන එකෙන් තමන් තමන් එක්කම ගිවිසුමක් ඇති කර ගැනීමක් වෙනවා. ඉලක්ක ලියන එකේ තවත් වටිනාකමක් තියෙනවා. ඒ තමයි ජීවිතේ අමාරු කාලවලදිත් අපි ගමන් කරන්න ඕන දිශානතිය මොකක්ද කියන එක අපිට හඳුනාගන්න පුළුවන් වීම. ඒ වගේම ඉලක්ක ලියනකොට, ඒ වෙනුවෙන් වැඩ කරනකොට මොළය ඒ දේ මතකයේ රඳවගන්නවා. අපිව ඉලක්ක දිනාගන්න මෙහෙයවීමක් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ හරහා සිදු වෙනවා.

ඉලක්ක විවිධ අරමුණු අනුව වර්ගීකරණය කරන්න පුළුවන්කම තියෙනවා මූල්‍යමය ඉලක්ක, වෘත්තීය ඉලක්ක, අධ්‍යාපනික ඉලක්ක, සබඳතා ඉලක්ක, සෞඛ්‍යය සහ යෝග්‍යතා ඉලක්ක, අධ්‍යාත්මික ඉලක්ක, පුද්ගල සංවර්ධන ඉලක්ක විදියට. මේ ඉලක්කවලදී තමන්ගේ ජීවිතේ මේ මොහොතේ ඉන්න තත්ත්වය අනුවයි ප්‍රමුඛතාව තීරණය කරගන්න ඕන. ජීවිතයේ ඉදිරියට ගිහින් සිහින සැබෑ කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න ඉලක්ක ගැන නිසි අවබෝධයක් තිබීම වැදගත්. ඒ නිසා පුළුවන් නම් අදම තමන්ගෙ ඉලක්ක මොනවද කියන එක ලියන්න පටන් ගන්න.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *