ආදර සබඳතාවක් තුළදී වගේම විවාහ ජීවිතය තුළදීත් ඔබව දුර ගමනක් රැගෙන යන්න ආදරය වගේම ඊට එකතු කරගත යුතු තව හුඟක් දේවල් තියනවා. ඒ අතරින් ගරුත්වය කියන්නෙත් බැඳීමක් ශක්තිමත් කරගන්න අවශ්‍ය වන තවත් වැදගත් අංගයක්.
ඔබේ සහකරු හෝ සහකාරිය නැතිනම් පෙම්වතා හෝ පෙම්වතිය විවිධ දේ ගැන මතිමතාන්තර දෙකක ඉන්න පුළුවන්. ඒ නිසාම ඒ කෙරෙහි ඒ දෙදෙනාම තර්ක කරනවා වගේම ඒ කෙරෙහි එකඟ නොවිය ද හැක. නමුත් ඔවුන් අනිවාර්යෙන්ම එකිනෙකා කෙරෙහි පවතින ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. මොකද දෙදෙනාම එකිනෙකාගේ හැඟීම්, රුචිකත්වයන්, අදහස්, විශ්වාසයන් කෙරෙහි පහත්කොට සැලකීමක් හෝ එය නොසලකා හැරීමක් සිදු කළහොත් එහි ප්‍රතිඵලයක් ලෙස එම සම්බන්ධතාවට හානි සිදුවනු ඇත.
ඉතින්, මේ සබඳතාවට වන හානිය සඳහා පාදක වන්නේ අපි නොහිතන තරම් පුංචි දේවල් වෙන්න පුළුවන්. ඒත්, ඒ සිදුවීම එකිනෙකාට දැනෙන හැඟෙන විදිය තේරුම් නොගැනීම නිසා එය අවසන් වන්නේ වෙනම තැනකින්. ඉතින් ඒ කතාබස් තුළ අපි හැසිරෙන විදිය, කතාකරන විදිය එකිනෙකා කෙරෙහි ගොඩනගාගන්නා උපකල්පනයන් මත ශක්තිමත් සබඳතාවකට අවශ්‍ය එකිනෙකා කෙරෙහි තිබිය යුතු ගරුත්වය නැති වී දෙදෙනා තුළ තිබූ සබඳතාවයේ ශක්තිමත් බව බිඳ වැටෙනවා.
එම නිසා ඔබේ සබඳතාවයේ මුල් අවධියේදීම එකිනෙකා කෙරෙහි ගරුත්වය ගොඩනගන අන්දම හා ගරුත්වය ගැන ඔබේ අදහස වගේම අනෙකාගේ අදහස් සම්බන්ධයෙන් අවංක හා විවෘත සාකච්ඡාවක නිරත වෙන්න. ඒ තුළ එකිනෙකා කෙරෙහි වගේම ගෞරවනීය හැසිරීම කෙබඳු ද යන්න ගැන අවබෝධයක් ලබා ගන්න. එම කතාබහේදී දෙදෙනාගේම විශ්වාසයන්, සීමාවන්, අගෞරවය පිළිබඳ පැහැදිලි සලකුණු ගැන කතාබහේ යෙදෙන්න. ඒ වගේම ඔබේ හැඟීම් ගැන ඔබේ සහකරු සමග විවෘතව කතා කිරීම ඔබට පහසුවක් දැනෙනව ද යන්න පිළිබඳ ඔබෙන්ම ප්‍රශ්න කරන්න. අපිට හරි ඉක්මනින් දේවල් අමතක වෙනවා හා අපි ජීවිතේ අත්විඳින හා අත්දකින දේ නිසාවෙන් අපේ අවබෝධය පුළුල් වෙනවා. ඒ නිසාම මාස තුනකට වරක්වත් ඔබේ සංවාදයන්ගේ මාතෘකාව ගරුත්වය හා සම්බන්ධ දෙයක් කරගන්න. ඒ තුළ ආදරයෙන් ගරුත්වයෙන් පිරි ශක්තිමත් සබඳතාවක් ගොඩනගන්න.
මිනුලි ප්‍රනාන්දු
මනෝ උපදේශිකා – බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය