ජයග්‍රාහී අවසානයක්

අද මම ඔබත් සමග බෙදා ගන්නට සිතුවේ ඉතා සුවිශේෂ මාතෘකාවක්.  ඒ තමයි අපි ආරම්භ කළ දෙයක් කොහොමද සාර්ථකව අවසන් කරන්නේ කියලා.

ඔබ දන්නවද? අප ජීවත්වන කාලය පුරාවට අප මොනතරම් දේ ආරම්භ කරනවද කියලා. ඒත් අපි ආරම්භ කරපු දේවල් අතරින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි අපි නිවැරදිව අවසන් කරන්නේ. විවිධ හේතු නිසා අපි අපේ ජීවිතයේ ගත් සමහර ආරම්භයන් නිවැරදිව අවසානයක් කරා යොමු නොකොට අතරමග අතහැර දමනවා.

ඒකට හේතුව මොකක්ද? ඔබ වගේම මමත් ඒ මොකද කියලා කල්පනා කළා. මම ඔබට ලස්සන කතාවකින් මේ කරුණ පැහැදිලි කර දෙන්නම්.

වර්ෂ 1964 ජපානයේ ඔලිම්පික් උළෙල ඉතාමත් හොඳින් සංවිධානය කර තිබුණා. මේ තරගාවලිය සදහා අපේ රට නියෝජනය කළේ ‘රණතුංග කරුණානන්ද’.  ඔහු නියෝජනය කළේ මීටර 10,000 තරග ඉසව්වයි . මේ තරගය සඳහා බොහෝ දියුණු රටවලින් ක්‍රීඩකයින් විශාල පිරිසක් ද එකතු වී සිටියා. ඒ අතර ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල අතිදක්ෂ ක්‍රීඩකයින් සිටියා. මේ ක්‍රීඩකයින් අතර අපේ කරුණානන්දත් සිටියා.

තරග සංවිධායකයින් වෙඩිල්ල පත්තු කළ පසු සියලු තරගකරුවන් එක පොකුරට දුවන්න පටන් ගත්තා. මෙලෙස තරගය ක්‍රියාත්මක වූ පසුව ක්‍රමයෙන් ක්‍රීඩකයින් අතර පරතරයක් ඇති වුණා. ක්‍රීඩකයින් අතිශය වේගයෙන් දුවන්න පටන්ගත්තා.

පළමු වට 10 අවසන් වූ විට සියලු ක්‍රීඩකයින් කරුණානන්ද පහුකරලා ඉවරයි. මෙලෙස තරගය යන අතතුරදී තරගයේ 20 වන වටයේදී ඇමරිකානු ක්‍රීඩක ‘බිලී මිල්ස්’ ප්‍රථම ස්ථානය ගෙන තරගයේ ජයග්‍රාහකයා බවට පත් වුණා. මේ අතරතුර දෙවන සහ තෙවන ස්ථාන ද තෝරාගෙන තිබුණා. මෙහිදී බොහෝ රටවල ක්‍රීඩකයෝ තරගය අතරමග අතහැර දමා තිබුණා. නමුත් අපේ කරුණානන්ද තවමත් දුවනවා. තරගය අවසන් කරන්න ඔහුට තවත් වට 4ක් තිබුණා. නමුත් කරුණානන්ද ජවයෙන් තවදුරටත් දුවන්න පටන් ගත්තා. මෙහිදී තරගය නරඹන්න විශාල පිරිසක් පැමිණ සිටියා. ඔවුන් කරුණානන්ද උසුළු විසුළු කරන්න පටන් ගත්තා. සමහර අය බෝතල් ක්‍රීඩා පිටියට එල්ල කළා.

නමුත් ඒ කිසිම දෙයකින් කරුණානන්ද නතරවුණේ නැහැ. අවසන් වට තුන කරුණානන්ද දුවන විට ප්‍රේක්ෂකාගාරයේ අතරින් පතර අත්පොළසන් නාද ඇසෙන්නට පටන් ගත්තා. මෙලෙස අවසන් වට දෙක දුවන විට මුළු ප්‍රේක්ෂකාගාරයම කරුණානන්දව දිරිමත් කරන්න පටන් ගත්තා. ඔවුන් දිගින් දිගටම අත්පොළසන් දෙන්නට පටන් ගත්තා. ප්‍රීති ඝෝෂා මධ්‍යයේ අපේ කරුණානන්ද තරගය අවසන් කළා.

අවසානයේදී ඔහුගේ උද්‍යෝගිමත් කතාව ජපන් පෙළ පොතේ ද තෙවන පාඩමේ ධෛර්යවන්ත මිනිසා යන නමින් ඇතුළත් කර තිබුණා. එවකට ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කළේ ජයග්‍රහණයට වඩා විශාල ගෞරවයක් කරුණානන්ද ලංකාවට අත්කර දුන්නා කියලා.

කරුණානන්ද පටන් ගත් තරගය විශිෂ්ට ලෙස අවසන් කළා. මොනතරම් බාධක කරදර තිබුණත් මිනිසුන් මොනතරම් ඔහුව අවඥාවට ලක් කළ ද ඔහු තම අධිෂ්ඨානය අත්හැරියේ නැහැ. ප්‍රථම ස්ථානයට එහා ගිය ගෞරවයක් ඔහු මව්බිමට ලබා දුන්නා.

අභියෝග සෑමවිටම ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. පටන් ගත් හොඳ දෙයක් අතරමග නතර කරන්න එපා. මොකද අභියෝග තමයි අපට ජීවිතය කියා දෙන්නේ.

වර්තමානයේ අප රටක් ලෙස ලෝකයක් ලෙස කොරෝනා වෛරසය නිසා අසරණ වී සිටිනවා. නමුත් අත්හරින්න එපා. අපට පුළුවන්. හැමවිටම සුබවාදී වෙන්න. සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා. ඔබේ සිහිනයට ඔබ යන්න. අභියෝග වෙස්වලාගත් ආශිර්වාද කරගන්න. කරුණානන්ද තුළ පමණක් නොවේ ඔබ තුළ ද ධෛර්යවන්ත මිනිසෙකු සිටින බව අමතක නොකරන්න.

ඔබට ජය!

චතුනි ජයසේන
මනෝ උපදේශිකා – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *