“කඩා වැටෙන්නේ නැති තරුවක් වෙන්න මට ඕන”

වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහන තුළින් පිබිදුණු ජීවිතවල කතා අපි ඔබ හමුවට ගෙන එන්නේ. මෙවර වැඩසටහනටත් එක් වුණා අනාගතයේ දිදුලන තරුවක් වීමට පෙරමඟ බලා සිටිනා උත්සහවන්ත චරිතයක්. ඔහු තමයි බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ නදීජ රංගන.

සංගීතයට කුඩා කළ සිටම දස්කම් දැක්වූ නදීජගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැනත් අනාගත බලාපොරොත්තු ගැනත් වියමන් TV සමග ඔහු කියුවේ මෙහෙම කතාවක්.

“මම ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක නිත්‍ය නියාමක ගායන ශිල්පියෙකු ලෙසයි ගීත ගායනයට මුලින්ම යොමු වුණේ. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය සංගීතය පැත්තට යොමු වුණේ සංගීත කණ්ඩායමෙන්. මම පාසලේ බටහිර තූර්ය වාදන කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරලා තියෙනවා. 2014 වර්ෂයේ හොඳම නායකයට හිමි බස්නාහිර පළාත් කුසලානය හිමි කරගන්නත් පුළුවන්කම මට ලැබුණා. මට සංගීත කණ්ඩායමේ ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න හැකියාව තිබුණා. ඒ දේවල් එක්ක තමයි පාසලේ සංගීත කණ්ඩායමේ නායකත්වය මට ලැබුණේ.

ගායන ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තුවක් ඒ කාලේ තිබුණෙ නැහැ. ඉස්කෝලෙන් මාව ගායන තරගවලට යොමු කරන්න ගත්ත නිසා මටත් පස්සෙ හිතෙන්න ගත්තා ගායකයෙක් වෙන්න තිබුණා නම් හොඳයි කියලා.

සංගීත කණ්ඩායමට බැඳෙන්න කලින් 2015දී වගේ අමතක නොවන සිදුවීමක් වුණා. ක්ලාස් එකකට දෙන්න අම්මා මට සල්ලි දුන්නා. කාලෙක ඉඳන් ගිටාර් එකක් ගන්න ආසාවක් තිබුණ නිසා මම ඒ සල්ලිවලින් ගිටාර් එකක් ගත්තා. එදා ගෙදර ගියාම මම සෑහෙන්න බැනුම් ඇහුවා. එදා ඉඳලා තනියම ගිටාර් වාදනය ඉගෙන ගත්තා. 2021 වර්ෂයේ යම් ආර්ථික ප්‍රශ්නයක් නිසා ගිටාර් එක විකුණන්න වුණා. මම එදා සෑහෙන්න ඇඬුවා. මොකද මම ගිටාර් එකට ගොඩක් ආදරේ කළා.

ඉන්පස්සේ මම බ්‍රැන්ඩික්ස් ආයතනය එක්ක සම්බන්ධ වුණා මැෂින් ඔපරේටර් කෙනෙක් විදියට. බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වෙනකොට මම ආවේ ජොබ් එක විතරයි ජීවිතේ, මියුසික් කරන්න බෑ කියලා හිතාගෙන. මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා මෙහේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මම ගීත ගායනා කරලා ෆේස්බුක් දාලා තියෙනවා දැකලා තමයි මගේ යාළුවො මාව ගීත ගායනයට නැවත යොමු කළේ.

මගේ යාළුවෝ ටික මාව රියැලිටි තරගයකට යොමු කළා ඒ අතරේ. නිවාඩු අරන් දීලා, මට සල්ලිත් දීලා, මගේ වැඩ ටිකත් කරන්නම් කියලා තමයි යාළුවො ටික මාව එදා තරගෙට යැව්වේ. තරගයේ මූලික තෝරාගැනීම් තිබුණ අන්තිම දවසෙ තමයි මම ගියෙත්.

ආයතනයෙන් දැනගෙන හිටියෙත් නැහැ මම තරගයට යන බව. තරගාවලියට සහභාගී වුණාට පස්සේ මානව සම්පත් අංශයෙන් වචනයෙන් කියන්න බැරි තරම් මට උදව් කරනවා. අපේ ඉහළ කළමනාකාරීත්වයත් පුදුම විදියට උදව්, උපදෙස් දෙනවා. මට තරුවක් වෙන්න බැරි වෙන්න පුළුවන්, හැබැයි මේ ලැබෙන උපදෙස් ජීවිතේ වෙනත් දේකට යොමු කරන්න වුණත් වැදගත්.

මට ඕනේ කඩාගෙන වැටෙන්නේ නැති තරුවක් වෙන්න.”

නදීජගේ සියලු බලාපොරොත්තු ඉටු වී තරගාවලිය වගේම ජීවිතයත් ජයගන්න ලැබේවා කියා වියමන් අපි සුබ පතනවා!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *