“මම කවදාවත් පළවෙනියවත්, අන්තිමයවත් වෙලා නෑ”

අපි බොහෝ දෙනෙක් ජීවිතයේ පළවෙනියා වෙන්න උත්සහ කරනවා. නමුත් තමන්ගේ හැකියාවන් හඳුනගන්න පුළුවන් නම් පළවෙනියාවත්, අන්තිමයාවත් නොවී සාර්ථක ගමනක් යන්න අවස්ථාව තියෙනවා. මෙවර වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට එක් වුණේ එවන් සාර්ථක ගමනක් ආව චරිතයක්. ඔහු බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනයේ සාමාන්‍යාධිකාරී විරාජ් ද සිල්වා මහතා.

“මගේ උපන් ගම මාතර. ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයේ. මගේ තාත්තා හමුදා සේවයේ නිරත වුණේ. අම්මා අධ්‍යාපන කාර්යාලයේ වැඩ කළේ. පවුලේ වැඩිමලා මම. සහෝදරයෝ දෙන්නෙක් සහ සහෝදරියක් ඉන්නවා මට. මම ඉගෙන ගත්ත පාසල ලොකු පන්නරයක් වුණා මට. ඉගෙන ගන්නවට වඩා බාහිර ක්‍රියාකාරකම්වලට තමයි මම ඇල්මක් තිබුණෙ. පාසල් කාලෙන් පස්සෙ මට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. ලොකු අරමුණක් කියලා දෙයක් තිබුණේ නැහැ සංගීතයට ගොඩක් කැමැත්තෙන් හිටිය නිසා කවදා හරි සංගීතඥයෙක් වෙන්න තියෙනවා නම් කියලා තමයි මම හිතන් හිටියේ.

ඉන්ටනෙට් පහසුකම් නැති නිසා පත්තර තමයි ඒ කාලේ බලන්නේ. රැකියා අවස්ථා වැඩිපුර තිබුණේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ. මම රැකියාවක් කරන්න ඕන, හොඳ තැනකට එන්න ඕන කියලා මෝටිවේට්වෙලා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ ආයතනයක මම පුහුණුවක් ලැබුවා.

මම කවදාවත් පන්තියේ පළවෙනියා වෙලා නෑ. අන්තිමයා වෙලත් නෑ. මම පළවෙනියා වුණේ නෑ කියලා මට ලොකු දුකක් තිබුණේ නෑ. හැබැයි මම දන්නවා අම්මටයි, තාත්තටයි ලොකු දුකක් තිබුණා. මම අද සතුටු වෙනවා මම ඉන්න තැන ගැන. මගේ හැකියාව හොයාගෙන, මම කවුද කියන එක හොයාගෙන මට කරන්න පුළුවන් දේ තමයි මම කළේ.

රැකියාවක් කරන්න ගත්තට පස්සෙ මම හිතාගත්තා බ්‍රැන්ඩික්ස් වගේ නම ගිය ආයතනයක කවදා හරි රැකියාවකට යනවා කියලා. ඒකට සුදුසුකම් සපුරගන්න මොකක්ද කරන්න ඕන කියලා මම හිතුවා. එක්තරා ආයතනයක මම අවුරුදු 15ක් වගේ සේවය කළා. ඒ අවුරුදු 15 ඇතුළත නිෂ්පාදන, තත්ත්ව පරීක්ෂණ වගේ හැම ක්ෂේත්‍රයකම මම එතැනදි වැඩ කළා. මගේ ජීවිතේ ගොඩක් කඩාවැටීම් තිබුණා. ඒත් මම ඉගෙන ගන්න දේවල් කළා.

මම 2016දී ෆැක්ට්‍රි මැනේජර් කෙනෙක් විදියට බ්‍රැන්ඩික්ස් ආයතනය එක්ක සම්බන්ධ වුණේ. අවුරුද්දක් යන්න කලින් මට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙන්න පුළුවන් වුණා. අවුරුදු දෙකකට වගේ පස්සේ සාමාන්‍යාධිකාරී කෙනෙක් විදියට උසස්වීම ලැබුණා.

මිනිස්සු තමන්ගේ වටිනාකම් හඳුනාගෙන නැහැ. තමන්ගේ හැකියාවන් මොනවද කියන එක හිතන්න ඕන. ප්‍රශ්න එන්න එන්න තමයි විසඳුම් හොයාගන්න ඕන. අපි හිතන විදිය වෙනස් කරගන්න ඕන. අපිට පුළුවන් කියලා හිතන්න ඕන. යම් විදියකින් සාර්ථක වුණේ නැත්නම් තව ක්‍රමවලට යන්න ඕන. අපේ සිතුවිලි තමයි ක්‍රියාවක් වෙන්නේ. කාලයත් එක්ක ඒ ක්‍රියාව පුරුද්දක් බවට පත්වෙනවා. ඒ පුරුද්ද තුළින් තමයි චරිතයක් හැදෙන්නෙ. ඒ චරිතය තමයි කෙනෙක්ව එයාගෙ අරමුණ කරා ගෙනයන්නේ. බ්‍රැන්ඩික්ස් කියන්නේ පිබිදුණු විසඳුම් දෙන තැනක්. කෙනෙක්ට පසුගාමී නොවී ඉස්සරහට යන්න ඕන තරම් අවස්ථා බ්‍රැන්ඩික්ස් එකේ තියෙනවා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *