ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි

සෑම වසරකම පෙබරවාරි 21 වන දා ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මව් භාෂා දිනයක් ප්‍රකාශයට පත් කරන්න හේතුවත් භාෂාව නිසා ඇති වුණ ගැටුමක්. අපි දැන් බංගලාදේශය නමින් හඳුන්වන රටත් පකිස්ථානයත් අතර රාජ්‍ය භාෂාව ගැන ඇති වුණ ගැටුමකින් කිහිප දෙනෙක් මිය ගියා වගේම ඉන්පසුව භාෂාවක තියෙන වැදගත්කම, බලය ගැන ලෝකයේ අවධානය යොමු වුණා.

භාෂාවක් අපිට ඕන වෙන්නේ එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්න සන්නිවේදන මාධ්‍යයක් විදියට. අපි හැමෝටම උපතින්ම උරුම වෙන භාෂාවක් තියෙනවා. ඒ මව් භාෂාවන් පවා විවිධත්වයෙන් යුක්තයි. සිංහල භාෂාව ගැන හිතුවොත් ලංකාවේ විවිධ ප්‍රදේශ අනුව ප්‍රාදේශිය ව්‍යවහාරයෙන් එකතු වුණ වචන තියෙනවා. දමිළ භාෂාව ගත්තත් කථන භාෂාවේ ප්‍රාදේශීයව සුළු වෙනස්කම් දකින්න පුළුවන්. මේ විදියට ප්‍රාදේශියව එකම භාෂාවක වුණත් වෙනස් වචන භාවිත වෙනවා නම් එය විහිළුවට ලක් කරන්න එපා. අපි හැම භාෂාවකටම ගරු කරන්න ඕන. මොකද අපි එකිනෙකාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්වෙලා තියෙන්නේ අපිට භාෂාවක් තියෙන නිසා.

ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව අපේ මව් භාෂාව නොවුණත් ලංකාවේ පවා බහුලව භාවිත වන භාෂාවක් බවට ඉංග්‍රීසි භාෂාව මේ වෙනකොට පත්වෙලා තියෙනවා. අපි අතර සමහර අය ඉන්නවා ඉංග්‍රීසි බැහැ කියන එක ලැජ්ජාවට කාරණයක් කියලා හිතන අය. ලෝකය බහුලව භාවිත වන ඉංග්‍රීසි භාෂාව අද නැතුවම බැරි භාෂාවක් බව ඇත්ත. ඒත් එහෙම වුණා කියලා ඔයාට ඉංග්‍රීසි බැරි නම් ඒක ලැජ්ජා විය යුතු දෙයක් නෙමෙයි. ඒක භාෂාවක්. ලෝකෙ විවිධ දැනුම් සම්භාරයන් එකිනෙකා එක්ක බෙදාගන්න ලේසියි ජාත්‍යන්තර භාෂාවක් තිබුණම. යූටියුබ් වීඩියෝ බැලුවත් ඔයාට රට රටවල සංස්කෘති ගැන, විවිධ විෂයන් ගැන ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන වීඩියෝ ඕන තරම් දකින්න ලැබිලා ඇති. සන්නිවේදනයට භාෂාව වැදගත් වුණත් කොයි මොහොතකවත් ඔයාව අනිත් අයට වඩා පහළ මට්ටමක ඉන්නවා කියලා ඔයාව මැනගන්න භාෂාව කියන දේ මිනුම් දණ්ඩක් කරගන්න එපා. අපි දන්න අපේ මව් භාෂාවෙන් කතා කරන්න ලැජ්ජා වෙන්න ඕන නැහැ. නමුත් ඔයාට භාෂා තව තවත් ඉගෙනගන්න ඕන කියලා හිතෙනවා නම් ඉගෙනගන්න. ඒකෙන් ඔයාට තවත් දැනුම වැඩි කරගන්න, ඔයාගෙ භාෂාව නොදන්න අය එක්ක අදහස් බෙදා ගන්න පුළුවන්කම ලැබෙනවා.

ලෝකයේ මේ විදියට එකිනෙකට වෙනස් භාෂා භාවිත වෙද්දි අපි හැමෝටම දැනෙන භාෂාවකුත් තියෙනවා. ඒ මනුෂ්‍යත්වයේ භාෂාව. ඒ නිසා තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන්න කොතැනකදිවත් බය වෙන්නත් එපා, ඉංග්‍රීසි වගේ භාෂාවක් බැරි වුණා හෝ වරද්දමින් වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට හිනාවෙන්නත් එපා. අපි මනුෂ්‍යත්වයේ භාෂාවෙන් ඒ හැමෝම එක්ක කතා කරමු. හැම භාෂාවකටම ගරු කරමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *