සිංහල සිනමාවේ නිළි රැජින - මාලිනී ෆොන්සේකා

සිංහල සිනමාවේ නිළි රැජින ලෙස හඳුන්වන මාලිනී ෆොන්සේකා උපත ලැබුවේ 1947 අප්‍රේල් 30 වන දා ය. කොළඹ, පෑලියගොඩ ප්‍රදේශයේ උපත ලැබූ ඇය නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

තිස්ස ලියනසූරිය මහතා අධ්‍යක්ෂණය කළ ‘පුංචි බබා’ චිත්‍රපටයෙන් 1968 වසරේදී සිනමාවට පිවිසි ඇය මේ වන විට චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.

ඇය 1975 වසරේ මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළෙහිදී ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය සඳහා ජූරියේ විශේෂ සම්මානයෙන් ද පිදුම් ලැබීය. මෙරට රංගන ශිල්පිනියක් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. තව ද ඇය 1977 වසරේදී දිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළෙහිදී කුසලතා සම්මානයකින් ද පිදුම් ලැබීමට සමත් විය. ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2008 වසරේ පැවති ඉන්දීය අන්තර්ජාතික සිනමා උලෙළෙහිදී රජත මයුර සම්මානයෙන් සහ 2009 වසරේ ඉතාලියේ පැවති ලෙවාන්තේ ජාත්‍යන්තර සම්මාන උලෙළෙහි ලොව විශිෂ්ටතම නිළියට හිමි සම්මානය හිමි කර ගැනීමට ද ඇයට හැකි විය.

මීට අමතරව ආසියා පැසිෆික් සිනමා උලෙළෙහි ලොව හොඳම රංගන ශිල්පිනියන් පස් දෙනා අතරට නිර්දේශිත නාමයන් අතරට ද ඇය පැමිණි අතර ආසියාවේ බිහි වූ විශිෂ්ටතම රංගන ශිල්පීන් 25 දෙනා අතරට තේරී පත්වෙමින් ශ්‍රී ලාංකීය අභිමානය ජාත්‍යන්තරයට රැගෙන යන්නට ද මාලිනිය සමත් විය.

ඇය, ලොව දිනූ ශ්‍රී ලාංකික කාන්තාවන් අතර සිය රංගන ප්‍රතිභාවයෙන් ශ්‍රී ලංකාව නම් පුංචි දූපතේ නාමය ජාත්‍යන්තරය තුළ බැබළවූ අභිමානවත් චරිතයකි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *