වැඩිහිටියන්ගේ අවවාද පිළිපදිමු

සමහර පුද්ගලයෝ දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් දෙන යහපත් අවවාද පිළිගන්නේ නැති නිසා අමාරුවේ වැටුණ අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඛරාදිය කියන මුව පැටියගේ කතාව ඒකට හොඳම උදාහරණයක්.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි කාලයේ වැඩිහිටි භික්ෂූන්ගේ අවවාද නොසලකන එක් භික්ෂුවක් ද ජේතවනාරාමයේ වැඩ සිටියා. එම භික්ෂුව තමන්ගේ තීරණයේම සිටිමින් හිතුවක්කාර ලෙසයි ජීවත් වුණේ. අනෙක් භික්ෂූන් වහන්සේලා මේ ගැන බුදුන් වහන්සේට පැමිණිලි කළා. ඉන්පසුව බුදුන් වහන්සේ අදාළ භික්ෂුව කැඳවලා මේ ගැන විමසා සිටියා. මින් පෙර ආත්මයකත් එම භික්ෂුව වැඩිහිටි අවවාද පිළිනොගැනීම නිසා උගුලකට හසුව මිය ගිය බව පවසමින් බුදුන් වහන්සේ එම අවස්ථාවේ ඛරාදිය ජාතක කතාව වදාළා.

“මහණෙනි, අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වාසය කරන කාලයේ විශාල මුව රංචුවක් වනාන්තරයක ජීවත් වුණා. මේ මුව රංචුවේ සිටි මුවදෙනකට පැටියෙක් ලැබුණා. මුව පැටියගෙ නම තමයි ඛරාදිය. මේ මුවදෙන ඛරාදිය පැටවාව තම සහෝදරයා ළඟට රැගෙන ගියා පැටියට මුව මායම් උගන්වන්න ඕන නිසා,” කියලා බුදුන් වහන්සේ අතීත කතාව ආරම්භ කළා.

මුව මායම් කියලා කියන්නේ, මුවෙක් උගුලට අහුවුණාම ඒ උගුලෙන් ගැලවෙන්න උගන්වන ක්‍රමවලට. උගුලකට අහුවුණාම මැරිලා වගේ හිටියම උගුල අටවපු වැද්දා හිතනවා මුවා ඇත්තටම මැරිලා කියලා. එහෙම හිතලා වැද්දා මුවාව උගුලෙන් නිදහස් කළ ගමන් මුවාට පුළුවන් පැනලා දුවන්න. මේ වගේ දේවල් තමයි මුව මායම්වල උගන්නන්නේ.

ඔන්න ඉතින් මුව පැටියාව සහෝදරයා ළඟට එක්ක ගිහින් මුව අම්මා කිව්වා, “අයියණ්ඩි, මේ මගේ පැටියට මුව මායම් උගන්වන්න,” කියලා. ඉතින් සහෝදර මුවත් මුව පැටියට වෙලාවක් කිව්වා ඇවිත් මුව මායම් ඉගෙනගන්න. ඒත් දවස් ගාණක් ගියත් මුව පැටියා මුව මායම් ඉගෙනගන්න ආවෙ නැහැ. ඒ වෙනුවට මුව පැටියා කළේ වනාන්තරයේ ඇවිදිමින් සෙල්ලම් කරන එක.

මෙහෙම ඉන්නකොට දවසක් දා වැද්දෙක් අටවපු උගුලකට අහුවෙලා මුව පැටියා මිය ගියා. මුව පැටියා නැති නිසා මුවදෙන තමන්ගේ සහෝදර මුවා හොයාගෙන ආවා. ඇවිත් ඇහුවා “ඔබ මගේ පැටියට මුව මායම් උගන්වලා නේද තිබුණෙ?” කියලා. ඉන්පස්සෙ සහෝදර මුවා, මුවදෙනට කිව්වා මුව පැටියා අවවාද පිළිගත්තෙ නැහැ. ඔහු මුව මායම් ඉගෙනගන්න ආවෙ නැහැ කියලා. අකීකරු මුව පැටියට බලෙන් මුව මායම් උගන්වන්න තමාට නොහැකි බව සහෝදර මුවා පැවසුවා.

මේ අතීත කතාව වදාළ බුදුන් වහන්සේ එතැන රැස්ව සිටි භික්ෂූන්ට පැවසුවා මෙම භික්ෂුව මේ ආත්මයේ පමණක් නොවෙයි අතීත ආත්මයේදිත් මේ විදියටම අකීකරුයි කියලා. එම ආත්මයේ මුව මායම් උගන්වමින් අවවාද දෙන බෝසත් මුවා ලෙස ඉපිද සිටියේ තමන් වහන්සේ බවත් බුදුන් වහන්සේ එම මොහොතේ වදාළා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *