පැහැබර හෙටකට අරපිරිමැස්ම කියා දෙන පාඩම

අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන්න සැරසෙන ඔයාලා හැමෝටම දැනෙනවා ඇති මේ කාල සීමාව ටිකක් දුෂ්කර බව. අපිට වෙනදා වගේ වියදම් කරන්න අමාරු කාලයක් මේක. ඒ නිසා පුළුවන් තරම් අරපිරිමැස්මට හුරු වෙන්න. ඕනම වෙලාවක දුෂ්කර තත්ත්ව අපේ ජීවිතවලට එන්න පුළුවන්. ‘නිසල මුහුදක් කිසිම දිනක දක්ෂ නැවියෙකු බිහි කරන්නේ නැහැ’ කියලා කතාවක් තියෙනවා ඔයා අහලා ඇති. ඒ නිසා ජීවිතේට එන මේ වගේ අභියෝගාත්මක කාල සීමාවන් මොන තරම් අමාරුවෙන් වුණත් දරාගෙන ඉදිරියට යන්න අධිෂ්ඨාන කරගන්න.

මේ වගේ කාලයකදි වැදගත්ම දෙයක් තමයි අනවශ්‍ය වියදම් කපා හැරීම. වෙනදා අපි කෑමට, බීමට, ඇඳුම් පැළඳුම්වලට, වගේම තවත් අපි ආසා කරන දේවල් වෙනුවෙන් වියදම් කළා. ඒත් මේ වෙනකොට ඔයාට තේරුම් ගිහින් ඇති වෙනදට වඩා අපි හෙට දවස ගැන හිතන්න ඕන කියලා. ඔයාට වියදම් කළමනාකරණය කරන්න අමාරු නම් පොතක් අරගෙන දවස ගාණෙ ඔයාට යන වියදම් මොනව ද කියලා ලියන්න. ඊට කලින් ඔයා ළඟ මේ වෙනකොට වියදම සඳහා තියෙන මුදල් ප්‍රමාණය කොච්චර ද කියන එක ගණන් හදන්න. ඔයාගේ අතේ වියදමට තියෙන මුදල් වගේම බැංකු ගිණුමේ ඔයා වියදම සඳහා පාවිච්චි කරන්න තියාගෙන ඉන්න මුදල් ප්‍රමාණය මුලින්ම ලියාගන්න. ඉන්පස්සේ දවස ගාණෙ ඔයාට යන වියදම ලියන්න. එතකොට ඔයා ළඟ තියෙන මුදලින් කොච්චර වියදම් වුණා ද, ඊළඟ වැටුප ලැබෙනකම් ඔයාට ඉතිරිවෙලා තියෙන මුදල කීයද වගේම ඔයා අතින් අනවශ්‍ය වියදමක් සිදුවෙලා තියෙනවා නම් ඒකත් ඔයාට දැනගන්න ලේසියි. පොඩි කාලයකට අපි ආසා කරන දේවල් වෙනුවෙන් වැඩි වියදමක් නොකර, අත්‍යවශ්‍යම දේවල් වෙනුවෙන් වියදම් කළොත් අපිට පුළුවන් අපේ හෙට දවස වෙනුවෙන් යම් ඉතිරියක් කරගන්න.

මේ කියන්නේ ඔයාට නොකා නොබී ඉන්න කියලා එහෙම නෙමෙයි. අත්‍යවශ්‍ය වියදම් අතරෙ අනවශ්‍ය දේ සීමා කරන්න කියන එක විතරයි. ඔයා අහලා ඇති ඉස්සර කාලේ මිටි හාල් මුට්ටිය කියල එකක් ගෙවල්වල තිබුණා කියලා. ඒ කාලේ නිවසේ කාන්තාව උයන්න කලින් හාල් මිටක් දානවා වෙනම මුට්ටියකට. ඒකේ එකතුවෙන හාල් හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න තමයි තියාගන්නේ. ඒ අපේ පැරැන්නන් හෙට දවස ගැන සිතා කටයුතු කළ ආකාරයට එක් උදාහරණයක් පමණයි. ඒ වගේම තමයි අපේ ගෙවත්තේ ඉඩ තියෙනවා නම් අපිට ඒ ඉඩකඩ භාවිතා කර කෙටිකාලීන භෝග වගා කරගන්න පුළුවන් එදිනෙදා භාවිතය සඳහා. පලා වර්ග, මිරිස්, මෑ කරල් වගේ භෝග වගා කරන්න පුළුවන් නම් එදිනෙදා ආහාර සඳහා යන වියදම යම් තරමකට අවම කරගන්න හැකියාවක් තියෙනවා. සුබවාදීව ජීවිතයට මුහුණ දෙමින් ඉදිරියටම යන්න ඔයාට ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *