“තමන්ගේ හීන අතහරින්න එපා”

‘සැමදා නියං එක දා වැහි වලාවේ’ කියලා කියමනක් තියෙනවා ඔබ අසා ඇති. නියඟයෙන් පීඩාවට පත් වුණ බිමකට වැස්ස කියන්නේ නව ජීවයක්. ඒ වගේම අපේ ජීවිතවල පවා නියං සමයක් තියෙන්න පුළුවන්. එවන් අවස්ථාවල ආතතියට පත් නොවී ඉවසීමෙන් ඒ කාල සීමාව පසු කරන්න අපි හිතට ගන්න ඕන. මෙවර වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහනෙන් මේ ගැන කතා කරන්න එකතු වුණා බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රසංශනී මහත්මිය.

“අප්‍රේල් මාසේ එනකම් අපි ආසාවෙන් ඉන්නවා අලුත් අවුරුද්ද සමරන්න. අපිට අවුරුදු දෙකක්ම වසංගත තත්ත්වය නිසා අවුරුදු සමරන්න අමාරු වුණා. කලින් තිබුණට වඩා යම්තාක් දුරකට වසංගත තත්ත්වය අඩු වුණත් මේ වන විට යම් ගැටලු ටිකක් නිර්මාණයවෙලා තියෙනවා. ඒකෙන් අපි ආතතියට ලක්වෙනවා. අපි දකිනවා සමහරු වාද විවාදවලට යනවා. ඒකෙන් තවත් ගැටලු ඇති කරගන්නවා. මගේ ගෙදර තත්ත්වය වෙන කෙනෙක් දන්නෙ නැහැ වගේම වෙන කෙනෙක්ගෙ තත්ත්වය මම දන්නෙත් නැහැ. මේ වගේ තත්ත්වයකදි තරහව කළමනාකරණය කරගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒක වටිනවා. අපි අපි අතර ප්‍රශ්න ඇති නොකරගෙන මේ අවුරුද්ද සමරන්න පුළුවන් නම් ඒක වටිනවා.

නිවසේදීත් මේ තත්ත්වය කළමනාකරණය කරගන්න ඕන. කලින් ඔබ බිරිඳට උදව් කළේ නැත්නම් දැන් ටිකක් උදව් කරන්න. තමන්ගේ සැමියට ලොකු හීන තියෙන්න පුළුවන්. ඒවට යන්න එයාට පොඩ්ඩක් අමාරුවෙලා තියෙනවා නම් එයත් එක්ක කතා කරන්න. අපි පවුලක් විදියට අපේ පවුල ඇතුළෙ ගොඩක්ම ශක්තිමත්ව ඉන්න ඕන අවස්ථාවක් මේක. ඒ වගේම සමහර අය මේ වෙනකොට තමන්ගේ හීනවලට තිත තියලා ඉවරයි. මේ දේ දැන් කරන්න බැහැ, මේ දේ කරල වැඩක් නැහැ කියන තැනට ඇවිල්ලා සමහරු. අපි ඇත්තම තත්ත්වෙ කතා කළොත්, අපි අවුරුදු දෙකකදි ගේ හදලා ඉවර කරන්න සැලසුමක් හදලා තිබුණා නම් මේ තත්ත්වය එක්ක ඒ දේ කරන්න බෑ කියල හිතෙන්න පුළුවන්. හැබැයි යම් දවසක හිතේවි ඇයි මම එදා මගේ හීනෙට යන එක නතර කළේ කියලා. ටිකක් තත්ත්වය දරාගෙන කැපකිරීමක් කළා නම් මට මගේ හීනෙට යන්න තිබුණා නේද කියලා දවසක හිතෙයි. අවුරුදු දෙකකින් කරන්න හිටිය දේට අවුරුදු තුනක් යන්න පුළුවන්. ඒත් ඔයා ඔයාගේ හීනෙට දවසක යයි. ඒ නිසා තමන්ගේ හීන අතහරින්න එපා. අතහැරියොත් තමයි පරාද වෙන්නේ. ඒත් හීනෙ අත නොහැර හිටියොත් දවසක ඔයා දිනනවා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *