සංගීතයට ආදරය කරන නිවේදන තරුව

මෙවර වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනට එක් වුණේ සංගීතයටත් නිවේදනයටත් ඇලුම් කරන චරිතයක්. ඔහු බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ මානව සම්පත් නිලධාරී ප්‍රසන්න පතිරණ මහතායි.

“මගේ පාසල් ජීවිතය ගත්තොත්‍ මම මුලින්ම නිවේදනයට යොමු වෙනවා. මගේ පාසල් ජීවිතයේ මම ලබපු ලොකුම ජයග්‍රහණයක් තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘අපේ පාසල’ කියන වැඩසටහන. මම ඒකට සහභාගී වුණේ සහය ශිල්පියෙක් විදියට. මට එතැනදි ආසාවක් ඇති වුණා මමත් කවදහරි මේ වගේ නිවේදන ශිල්පියෙක් වෙනවා, මේ වගේ තැනක නිවේදන කටයුතු කරනවා කියලා. බොහොම කෙටි කාලයක් ඇතුළත මටත් හැකියාව ලැබුණා ‘අපේ පාසල’ වැඩසටහනට සම්බන්ධවෙලා නිවේදකයෙක් වෙන්න.”

සිය නිවේදන සිහිනය ඒ ආකාරයෙන් සැබෑවක් බවට පත් කරගත් ඔහු සංගීතයට ද ඇලුම් කළ අයෙක්.

“මම සංගීත ප්‍රසංගයක් බලන්න යනකොට මට ආසාව ඇති වුණා මම කවදහරි මේ වගේ සංගීත ප්‍රසංගයක ගායකයෙක් වෙනවා, වාදකයෙක් වෙනවා කියලා. උසස් පෙළ හදාරනකොට මම සංගීතයට යොමු වුණා. උසස් පෙළ හැදෑරීමෙන් පසු මගේ රැකියා ජීවිතය සාර්ථක කරගන්න මම තෝරගත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනය. මට සංගීතය, නිවේදනය යන අංශ සඳහා බ්‍රැන්ඩික්ස් ආයතනය මහත් තෝතැන්නක් වුණා.”

බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍යයේ නිවේදන තරුව ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වූ ඔහුට සිය නිවේදන හැකියාව ඔපමට්ටම් කර ගැනීමට ද එය වටිනා අවස්ථාවක් වූ බව ඔහු පවසනවා. තව ද තමාගේම ගීත දෙකක පටිගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇති ඔහු තමාගේම සංගීත කණ්ඩායමක් ද පවත්වාගෙන යනවා.

සිය වෘත්තිය ජීවිතය ද සමග සංගීතය, නිවේදනය යන ක්ෂේත්‍රයන්ගෙන් ද ඉදිරියට යන ඔහුගේ ගමනට වියමන් පවුලෙන් සුබ පැතුම්!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *