යොමු කර නිති අවධානය - වළකමු ඇති අවදානම

ලෝක වෘත්තිය සෞඛ්‍යය සහ සුරක්ෂිතතා දිනය අදට (අප්‍රේල් 28) යෙදී තිබෙනවා. සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන්නේ රාජකාරි ස්ථානයේදී විතරක් වැදගත් වෙන දෙයක් නෙමෙයි. මුළු ජීවිත කාලයටම සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන දේ අපිට වැදගත්. නිවසේදී, මහ මඟදී, එළිමහනේ වැඩක නිරත වෙන මොහොතේදී වගේ හැම තැනකදිම අපිට මේ මාතෘකාව වැදගත් වෙනවා.

පුංචි දරුවෙක් පාසලට යවනකොට අම්මා, තාත්තා එයාලට කියලා දීලා යවනවා මේ මේ දේවල්වලින් පරිස්සම් වෙන්න නැත්නම් වැටෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන් කියලා. ඒ වගේම අසනීපයක් හැදුණම අපි බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් ළඟට යනවා. අපි වෛද්‍යවරයෙක් ළඟට යන්නේ ඒ අසනීපයට නිවැරදි ප්‍රතිකාර ඕන නිසා. ආහාර පිසින අවස්ථාවක වුණත් ඔබ මුවහත් උපකරණ පාවිච්චි කරද්දි, විදුලි උපකරණ භාවිතයෙදි ආදී සියලු දේ ගැන සැලකිලිමත් වෙනවා. ඒ ආකාරයෙන් අපේ ආරක්ෂාව ගැන කුඩා කාලයේ ඉඳලම අපි සැලකිලිමත්වෙලා තියෙනවා.

රැකියාවකදී පවා ආරක්ෂාව, සෞඛ්‍යය කියන අංශ දෙක ගැනම වගකීමක් අපිට තියෙනවා. අපේ සුරක්ෂිත බව වගේම අපි සමග රාජකාරි කරන අනෙකාගේ සුරක්ෂිත බව ගැනත් අපි හැමෝටම වගකීමක් තියෙනවා. සිය සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් පිළිගත් ආරක්ෂණ නීති රීති මාලාවක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ තිබෙන බව ඔබ දන්නවා. මුලින්ම අපි ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්න ඕන. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ආරක්ෂාව වෙනුවෙන් පලඳින්න තිබෙන දේවල් ආදිය කරදරයක් කියලා. එහෙම නැත්නම් නීති රීති සකස් කරල තිබෙන නිසා ඒවා අනුගමනය කරන්න ඕන කියන ආකල්පයෙන් අකමැත්තෙන් ඒ දේවල් අනුගමනය කරනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ විදියට පිළිගත් සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම ඔබට පිළිපදින්න කියලා ආයතනයෙන් කියන්නෙම ඔබේ ආරක්ෂාව වෙනුවෙන්.

ඇසිපිය ගසන තත්පරයක් ඇති අනතුරක් සිදුවෙන්න. ඒ සම්බන්ධයෙන් ඔබට අත්දැකීම් පවා ඇති. ඒ නිසා ආයතනයෙන් ඔබට ලබා දී ඇති උපදෙස් හිතට අරන් සැලකිලිමත්ව කටයුතු කරන්න. ආයතනයට ඔබව වටින නිසාත් ඔබේ ජීවිතයේ වටිනාකම හොඳින් වටහාගත් නිසාත් තමයි බ්‍රැන්ඩික්ස් ආයතනය නිරන්තරයෙන් ඔබව සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැනුවත් කරන්නේ. ඒ නිසා ඔබේ වගේම අන් අයගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න. අනතුරුදායක තත්ත්වයක් ගැන දැනගත් වහාම අදාළ නිලධාරීන් දැනුවත් කරන්න. අවධානයෙන් සිටිමින් අවදානමෙන් මිදෙමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *