සෙනෙහසින් ගී ගයා තුන්යමේ නළවද්දි
ලේ පවා සුදු වුණා දෙතන කිරි කර දෙද්දි
දංකුඩෙන් බඩ පොත්ත පිට මැද්දෙ ඇලවෙද්දි
බුදුවෙන්න පැතුවෙ නෑ දරු පැටවු තනිවෙද්දි
අප්පලා දහ අතේ කාසි මලු හෙව්වාට
තුන් වේල රහ වුණේ අම්මගේ ප්‍රේමයට
දුම් වැදුණු රැලි වැටුණු දෑස් නිදි වැරුවාට
නිදිගත්තෙ කවදා ද දරුවො ගෙයි නැතිදාට
කිවිසුමක් යන ගාණෙ දෙවි බුදුන් සිහිකෙරුව
තුන් වරුවෙ පොඩි උන්ට සෙත් පිරිත් ජපකෙරුව
ආත්මෙම දරුවන්ගෙ ලෝකයට කැපකෙරුව
අම්මලා මහමේරු පරුවතකි නිදිවැරුව
සිනිඳු අත් දෙකක් උඩ ලොවක් මැවෙනා තරම්
හැංගිච්ච කඳුළු ඇති කියන්නට බැරි තරම්
හිතාගෙන උන්නාට දන්නවා ඇති තරම්
අපි දන්නෙ මොනවා ද අපේ අම්මලා තරම්
එක දිනක් මොනවට ද ගෙදර බුදු පදවියට
නිරන්තර නැඟේ නම් ඇගේ ගැන මතකයට
උඩ ඉන්න දෙවියනේ නෙත් යොමා මේ ලොවට
“දුකක් නම් දෙන්නෙපා අම්මලා නැති උන්ට”
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය