ඉදිරිය වෙනුවෙන් අඩියක් පස්සට ගමු

එංගලන්තයේ එක්තරා ප්‍රදේශයක සුදු සහ කළු පාට සලබයින් වර්ග දෙකක් ජීවත් වුණා. ඒ කාලේ ඒ ප්‍රදේශයේ ගස් කඳන්වල සුදු පාට දිලීර වර්ගයක් හැදිලා තිබුණා. ඒ නිසා ගස් කඳන්වල ඉන්න සුදු පාට සලබයන්ව ගොදුරු කර ගන්න එන සතුන්ට සලබයන්ව පැහැදිලිව පෙනුණෙ නැහැ. නමුත් කළු පාට සලබයන්ව සුදු පාට පසුබිමේ හොඳින් පේන නිසා කළු සලබයින් සංඛ්‍යාව එන්න එන්නම අඩු වුණා ගොදුරු බවට පත්වීම නිසාම. ඉන්පස්සේ පරිසර දූෂණයත් එක්ක ගස් කඳන්වල සුදු පාට දිලීර මත දූවිලි ආදිය තැන්පත් වීම නිසා ඒවා කළු පාටට හැරුණා. ඉන්පස්සේ ගස් කඳන් කළු පැහැයක් ගත්ත නිසා එහි ඉන්න සුදු සලබයන්ව හොඳින් පේන්න ගත්තා. හැබැයි කළු සලබයින්ව එතරම් හොඳින් කළු පැහැ පසුබිමක නොපෙනෙන නිසා එයාලා අනිත් සතුන්ගෙ ගොදුරු බවට පත් වුණේ නැහැ ලේසියෙන්. ජීවිතේට එන අසීරු අවස්ථාවලට මුහුණ දෙන්න තරම් අපි ශක්තිමත් නොවුණොත් හරි, ඒ වෙනුවෙන් නම්‍යශීලී වෙන්න බැරි නම් හරි අපිට වෙන්නේ නොගැළපෙන පසුබිමක හිටිය සලබයන්ට වුණ දේ. ඒ කතාවේ හැටියට සලබයා පරිසරයට අනුව වෙනස් නොවුණත් ඔයාලට තේරෙනවා ඇති පරිසරයේ වෙනස්කම්වලට ගැළපෙන කෙනා තමයි ආරක්ෂා වුණේ කියලා. ඒ නිසා ජීවිතේ අසීරුම තැන්වලදි වෙනදා ජීවත් වුණ විදිය වෙනස් කරගන්න පුළුවන් තැන් තියෙනවා නම් ඒ තැන්වලදි ටිකක් වෙනස් වෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ අපේම අනාගතය වෙනුවෙන්. හැමදාම සතුට ජීවිතේ රැඳෙන්නෙත් නැහැ, දුක රැඳෙන්නෙත් නැහැ.

සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැඟෙයි කඳුළ නැඟෙයි එයයි ජීවිතේ

සෝමතිලක ජයමහ මහතා ගායනා කරන මේ ගීතයෙන් කියවෙන්නෙත් ඒ ගැන. මේ කාලය ගත්තම අපි හැමෝම වගේ අපහසුකම් රැසක් මැද ජීවත් වෙන්නේ. අපිට හැඩ ගැහෙන්න අමාරු තත්ත්වයන් තියෙනවා වගේම හැඩ ගැහෙන්න පුළුවන් තත්ත්වයන් පවා තියෙනවා. සාර්ථකව මේ අසීරු කාලය පසුකරගෙන ගිහින් කවදා හරි දවසක අපේ හීන සැබෑ කරගන්න නම් අපි පුළුවන් විදියට සමහර අසීරුතාවලට මුහුණ දෙන්න ක්‍රම හොයාගන්න ඕන. ඒක ටිකක් වෙහෙසකාරී වෙන්න පුළුවන්. ඒත් අපි ඉස්සර අපි ජීවත් වුණ විදියට ජීවත් වෙන්න උත්සහ කළොත් වෙන්නේ අපි ඉක්මනට මේ තරගයෙන් පරාද වෙන එක. ඒ නිසා වෙහෙස වුණත් අඩියක් පස්සට අරන් හොඳ ඉදිරි පියවරක් තියමු. ඔයාට ඒක කරන්න පුළුවන්. විශ්වාසයෙන් ඉදිරියටම යමු!

Facebook
Facebook