නොරිද්දා නොරිදවී ජීවත් වෙමු

කවුරු හරි කෙනෙක් ඔයාගෙන් අහපු දෙයක් නිසා හෝ කියූ දෙයක් නිසා හිත රිදුණ අවස්ථාවක් ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන්ම ඇති. ඒ වගේම අපි සමහර වෙලාවට තවත් කෙනෙක්ගේ හිතක් රිදෙනවා ද, නැද්ද කියන දේ ගැන නොහිතා ප්‍රශ්න අහපු අවස්ථා පවා තිබෙනවා. මේ වගේ දේවල් නිසා හිතවත්කම් පවා අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා දෙයක් කියන්න කලින් ඒ ගැන හිතන එක නුවණට හුරුයි. මෙවර වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහන තුළින් මේ ගැන කතා කරන්න අපි සමග එකතු වුණා බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රසංශනී මහත්මිය.

“අපි සමහර වෙලාවට හිතන්නේ නැතුව අහන දේවල් හින්දා, කියන දේවල් හින්දා සමහර කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි වයස අවුරුදු තිහ විතර පැනපු කෙනෙක් දැක්කාම ඔයා විවාහ වෙන්නේ නැද්ද, වෙඩින් එක කවද්ද ඔන්න ඔය ප්‍රශ්න ටිකක් තමයි අපි අහන්නේ. සමහර විට එයා විවාහ නොවී ඉන්නේ අතිශය සංවේදී කාරණයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක් විවාහ වුණාට පස්සේ අපි ඔහුගෙන් හෝ ඇයගෙන් අහන ප්‍රශ්නෙ තමයි ඔයාලා දරුවෝ හදන්නේ නැද්ද, ඇයි තාම දරුවෝ නැත්තේ කියලා. මේ වගේ ප්‍රශ්නයක් අහන්න කලින් අපිට පුළුවන් නම් ටිකක් හිතන්න ‘මේ අපි අහන ප්‍රශ්නය හින්දා ඒ කෙනාගෙ හිත රිදෙයි ද’ කියලා මට හිතෙන්නේ තව කෙනෙක්ගේ හිත අපේ වචනයක් හින්දා රිදෙන එක අපිට වළක්වගන්න පුළුවන්. විවාහ වුණා කියලා දරුවෝ හදන්නම ඕන කියලා නීතියක් නැහැ. අපිට තියෙනවා අයිතිය ඒක තීරණය කරන්න. අනිත් එක තමයි ඒක අතිශය සංවේදී කාරණාවක් සහ අතිශය පෞද්ගලික කාරණාවක්.

අපි කෙනෙක් දැක්ක ගමන් ඔහුට හෝ ඇයට කියනවා ඔයා මහත්වෙලා, ඔයා ගොඩක් කනව ද, කෙට්ටු කෙනෙක් දැක්කොත් අහනවා ඇයි අනේ ඔයා කන්නේ නැද්ද කියලා. මෙහෙම අපි අහන දෙයින් කෙනෙක්ගේ හිත ගොඩක් රිදෙන්න පුළුවන්. ඒ නිසා තව කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන්න කෙනෙක් එක්ක කතා කරන්න. විශේෂයෙන්ම මේ වගේ කාලෙක අපිට පුළුවන් නම් තව කෙනෙක්ගේ හිත වචනෙකින් හරි හදන්න, තව කෙනෙක්ගේ හිතට පුංචි හරි සන්තෝෂයක් දෙන්න මං හිතන්නේ ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ නිසා තව කෙනෙක්ගේ හිත රිදෙන විදියේ කතාවක් අහන්න කලින් ඒ කතාව ඔබේ කරගෙන බලන්න.  කවදාවත් ඔබ තව කෙනෙක්ගේ හිත රිදෙන දේවල් අහන්නේ නැති වෙයි.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *