සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා
“මහ රජ, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස අපි ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණියෙමු.”
බුද්ධ වර්ෂ 236දී ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල යන හිමිවරුන් ද සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසකවරයා ද සමග මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට බුදු සසුන ලක්දිවට හඳුන්වා දෙනු ලැබුවා. උදා වූ මේ පොසොන් පොහොය දිනයේ සිදු වූ අපට වැදගත්ම සිදු වීම වන්නේ එයයි. මිහිඳු හිමියන් ඇතුළු පිරිස මිහින්තලාවට වැඩම කරන අවස්ථාවේ එකල මෙරට රජ කළ දේවානම්පියතිස්ස රජු සිටියේ මිහින්තලා පර්වතය අසල මුව දඩයමේ යෙදෙමින්. එම අවස්ථාවේ දේවානම්පියතිස්ස රජු අමතා මිහිඳු හිමියන් ඉහත ගාථාව දේශනා කළ අතර රජුගේ බුද්ධිය විමසීම සඳහා අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය ද විමසුවා. එම ප්‍රශ්නවලට රජතුමා දුන් පිළිතුරු අනුව ඔහු බුද්ධිමත් රජ කෙනෙක් බව වටහා ගත් මිහිඳු හිමි චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ අතර පසුව දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිස බුදු දහම වැලඳ ගත්තා. ඉන්පසුව නිර්මල බුදු දහම සමග බද්ධ වූ සංස්කෘතියක් ද අප රටට හිමි වූ අතර දැහැමි ශිෂ්ටාචාරයක් ද මෙරට බිහි වුණා.
ලක්දිවට බුදු දහම රැගෙන ඒමට අමතරව පොසොන් පොහොය දවසේ තවත් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදු වී තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වී සිව් වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳි ධර්මය මෙනෙහි කරමින් සිටියදී පළමු වරට බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් විහිදීම සිදුව ඇත්තේ ද පොසොන් පොහොය දිනයකයි. ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව සිදුව ඇත්තේ ද පොසොන් පොහොය දිනයකදී වන අතර මිහින්තලය අසලට වැඩම කර සිටි දෙවියන් හට සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනය පරිදි සමචිත්ත පරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද්දේ ද පොසොන් පුන් පොහොය දිනකදීයි.
ලොව ශ්‍රේෂ්ඨ දර්ශනයක් වූ බුද්ධ දර්ශනය අපේ ජීවිතවලට ළඟා කරගෙන ලොවම සම්බුදු දහමින් නිවන්නට මේ පොසොන් පොහොය දිනයේ සිතට ගනිමු.