නිහඬ ස්නේහයේ මධුර ස්වරය තාත්තා

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිඳගේ සෙනෙහෙ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මේ ගීතයේ පද වැල් තුළ සැඟවිලා තියෙනවා තාත්තා කෙනෙක්ගේ ආදරය මොන තරම් සුවිශාල ද කියන එක. නිර්වාණයට ළඟා වීම දුෂ්කර ක්‍රියාවක් වුණත් තාත්තලා නිර්වාණය විදියට දකින්නේ තමන්ගේ අඹු-දරුවන් ඉන්න පැල්පත කියලා මේ ගීතයේ කියවෙන අදහස තුළ තාත්තා ගැන ලොකු කතාවක් කියවෙනවා. බොහෝ වෙලාවට අපි තාත්තාව දකින්නේ රළු චරිතයක් විදියට. තාත්තා කෙනෙක්ගේ හිතේ පිරුණු මහමෙරක් තරම් සෙනෙහස අපි තේරුම් ගන්නේ සමහර වෙලාවට ගොඩක් කල් ගිහින්.

අනේකවිධ බාධා මැද ඔයාව උස් මහත් කරන්න, හොඳ අධ්‍යාපනයක් දෙන්න වගේම ඔයාව හැකි අයුරින් උපරිම සැප පහසුවෙන් තියන්න තාත්තා මොන තරම් කැපකිරීම් කරන්න ඇත් ද කියලා ජීවිතේ බර කරට අරන් ඉන්න ඔයාට දැන් හොඳින්ම වැටහෙනවා ඇති. ඒ තාත්තා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඔයා ලොකු වෙහෙසක් ගන්නවත් ඇති. ඔයාට පුළුවන් හැම වෙලාවකම තාත්තා එක්ක කතාබහ කරන්න. සතුට කියන දේ ගොඩක් වෙලාවට අපිට පුංචිම පුංචි දේවල් ඇතුළෙ හොයාගන්න පුළුවන්. තාත්තා වුණත් වැඩියෙන්ම ආසා කරන්නේ ඔයා ගිහින් දෙන තෑග්ගකට නොවෙන්න පුළුවන්. ඔයා තාත්තා එක්ක හිනාවෙලා සතුටෙන් කතා කර කර ඉන්න පැය කිහිපයක් තාත්තට ගොඩක් වටිනවා. ඒ වගේම තමයි ඔයා හොඳින් ජීවත් වෙනවා නම් ඒ දිහා බලලා තාත්තා නිහඬවම සතුටු වෙනවා. තාත්තලා ඒ දේවල් කියන්නෙ නැහැ. ඔවුන් කරන්නේ දූවරු දිහා බලලා නිහඬවම ආඩම්බර වෙන එක. පුළුවන් වෙලාවට තාත්තා එක්ක නිදහස් තැනක ඇවිදින්න යන්න. පුංචි කාලේ ඔයාගේ අතින් අල්ලගෙන ඔයාට නැගිටින්න දිරි දුන්න තාත්තට දැන් ඔයා දිරිය දියණියක් විදියට හයියක් වෙන්න.

ලෝක පියවරුන්ගේ දිනය යෙදෙන අද දවසේ මේ ලෝකයේ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම සැනසීම පිරුණු වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න කියලත්, දීර්ඝායුෂ ලැබෙන්න කියලත් වියමන් අපි ප්‍රාර්ථනා කරනවා!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *