පිබිදෙන හෙටකට ‘හෙරළි පෙරළි’

ගසට නමකි මල පිපුණම වෙන                       නමකි
ගැටයට නමකි ලොකු වෙන කොට වෙන      නමකි
ගෙඩියට නමකි ගෙඩි ඉදුණම වෙන              නමකි
මෙතුන් පදේ තෝරාලා කියන්                            සකි

අපට පුංචි කාලේ මේ තේරවිල්ල ඇහෙන කොටම කට අගට උත්තර හදාගෙන ඉන්නේ හැමෝටම කලියෙන් උත්තර දෙන්න. අපේ පැරණි මුතුන්මිත්තන් කොස් ගහට  බත් ගහ  කිව්වේ කට කසනවාට නෙවෙයි. යුද්ධ කාලවලදී කුඹුරු අස්වනු නෙළාගන්න නොහැකි අවස්ථාවලදී අපේ රටේ මිනිසුන්ගේ පණ නල රැක්කේ මේ බත් ගහ. එක කොස් ගහකින්  පවුල් ගණනාවකගේ බඩ කට පුරවන්න හැකියාව තිබෙන මේ අපූරු ශාකය ජාතියේ පිනට පහළ වුණ, සොබාදහමෙන් අපට ලැබුණු වටිනා ත්‍යාගයක්.

පිබිදුණු විසඳුම් ලොවට ඉදිරිපත් කරන ප්‍රබෝධවත් මිනිසුන් ලෙස අපේ සාමාජික සාමාජිකාවන්ගේ පවුල් ඒකක ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය පළමු පියවර අපි තබනු ලැබුවා. දැනට වගේම ඉදිරි අනාගතයටත් අපට මේ බත් ගස අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. විශිෂ්ටත්වය කරා යන ගමනේ අපේ සාමාජිකයන්ගේ පවුල් බත බුලතින් සරුසාර කිරීම අපේ ප්‍රධාන අරමුණ වුණා. ඒ නිසාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජයමග ටීවී ආයතනය සම්බන්ධ කරගනිමින් ‘හෙරළි පෙරළි’ වැඩසටහන යටතේ කොස් පැළ 500ක් බෙදා දෙමින් ඔවුනට අත්වැලක් සපයන්න අපිට හැකියාව ලැබුණා.

රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය ලබා දෙන අභිමානවත් සාමාජික සාමාජිකාවන් වන අපි ස්වංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනට ද උරදෙන ප්‍රධාන කොටස වන්නට සූදානම්.

ඉදිකටු මලෙන් ගෙත්තම් හැඩ කර රට ගොඩනැඟීමට ශක්තිය ලබා දෙන අපි මිහිමව පුබුදවමින් දැය ස්වංපෝෂිත කරලීමේ සංග්‍රාමයේ කොටස්කරුවන් ලෙස අභිමානයෙන් පෙරට යමු.

සටහන – බුද්ධිකා කාරියවසම්

Facebook
Facebook