"දරුවන්ගේ හොඳම මිතුරා, මිතුරිය වෙන්න"

අද අප ජීවත් වන්නේ තාක්ෂණික ලෝකයක. ජංගම දුරකතනය, පරිගණකය කියන්නේ වර්තමානයේදී දරුවන්ටත් අත්‍යවශ්‍ය උපකරණ බවට පත්වෙලා. මේ උපකරණ භාවිතයේදී වාසිදායක වගේම අවාසිදායක තත්ත්වයන් තිබෙනවා. කොහොමද මෙයින් අපේ දරුවන් ආරක්ෂා කරගන්නේ කියන එක ගැන තමයි මෙවර වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහනෙන් බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ මනෝ උපදේශිකා රොෂානි බණ්ඩාර මහත්මිය කතා කරන්නේ. 

“කාලෙන් කාලෙට අපේ ජීවිතයට අලුත් දේවල් එකතු වෙනවා. ජංගම දුරකතනයත් මෙන්න මේ වගේ දෙයක්. වැඩිහිටි අපට විතරක් නෙමෙයි පාසල් යන දුවලා පුතාලා ඉන්නවා නම් ගෙදර ඔවුන් අතෙත් මේ වෙනකොට ජංගම දුරකතනයක් තියෙනවා. මේ දවස්වල මට පොඩ්ඩක් කනට ඇහෙන දෙයක් තමයි “මගේ දුව, මගේ පුතා හොඳට ෆෝන් එක පාවිච්චි කරනවා. එයා තමයි ෆෝන් එකේ වැඩ ටික ඔක්කොම දන්නේ.” සමහර වෙලාවට අම්මා හරි තාත්තා හරි මේක කියන්නේ හරි ආඩම්බරයෙන්.

ඔබ ඔබේ දුවට, පුතාට ජංගම දුරකතනය දෙනවා නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. දරුවෝ මොකද කරන්නේ, දරුවෝ මොනවද මේකෙන් බලන්නනේ කියන එක අපි දැනගත යුතුයි. මොකද අද වෙනකොට බොහෝ වෙලාවට ජංගම දුරකතනය අපේ ජීවිතවලට හොඳ දෙයක් වගේම සමහර වෙලාවට ප්‍රශ්න, ගැටලු ඇති වෙන දෙයක් බවට පත්වෙලා. කාර්යබහුල ජීවිත ගත කරන ඔබ අනිවාර්යෙන් පුංචි වෙලාවක් ගත කරන්න දරුවා මොකද කරන්නේ කියලා සෙවිල්ලෙන් ඉන්න. ඒත් එක්කම තමයි පරිගණකය, ලැප්ටොප් එක මේ අධ්‍යාපනයත් එක්ක බද්ධවෙලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් ආරක්ෂිත පරිසරයක් හදලා දෙන්න, ඔබ නිතර යන එන තැනක ලැප්ටොප් එක දුරකතනය තියන්න, අපිට පුළුවන් උයන ගමන් හරි දුව, පුතා මොකද කරන්නේ කියල සෙවිල්ලෙන් ඉන්න. ඔබ මොන තරම් කැපකිරීම් කළත් දරුවන්ට සමීප විය යුතුයි. ඒ නිසා දරුවන්ගේ හොඳම මිතුරා මිතුරිය ඔබ වන්න.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *