“ඔබ ඔබව හඳුනාගන්න”

ජයග්‍රාහී ගමනක් යන්න නම් අපි පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕන වගේම නිවැරදි තීරණ ගනිමින් බාධක හමුවේ නොසැලී ගමන යා යුතුයි. මෙවර වියමන් TV “පිබිදුණු අපි” වැඩසටහන හා එක් වුණේ බ්‍රැන්ඩික්ස් මැහුම් තාක්ෂණ ඉංජිනේරු අංශයේ ජ්‍යේෂ්ඨ කළමනාකාර සජීව ප්‍රේමරත්න මහතායි.

“මගේ ගමනේ පදනම වෙන්නේ මගේ පවුල් පසුබිම, පාසල සහ මගේ ගම කිව්වොත් නිවැරදියි. මගේ මව ගුරුවරියක්. පියා ඇඳුම් මසන්නෙක්. ඒ දෙන්නාගේ වෘත්තින් දෙකේ සංකලනයක් වගේ මගේ වෘත්තිය. මැහුම් තාක්ෂණය, මේ කාර්මික ඥානය මගේ ටීම් එක සහ මම ඊළඟ පරම්පරාවට දෙන එක තමයි අපි ප්‍රධාන වශයෙන් කරන්නේ.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම සම්බන්ධ වෙනවා ජාතික වෘත්තීය පුහුණු අධිකාරියත් එක්ක. වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්මික ශිල්පියෙක් විදියට පුහුණුව ලබනවා මම වසර එකහමාරක්. පසුව ඇඟලුම් ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණා මගේ ප්‍රදේශයේම, වසර දෙකක්. ඉන්පස්සේ තමයි ජීවිතේ යම් වෙනසකට භාජනය වන ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්නේ, බ්‍රැන්ඩික්ස් රත්මලාන කැෂුවල් වෙයා ආයතනයත් එක්ක. ඒ ආයතනයේ කටයුතු කරගෙන යන අතරෙ මට අවස්ථාව ලැබෙනවා ආයතන කිහිපයක සහ පර්ෂද කිහිපයක මගේ රැකියාව කරගෙන යන්නට සහ එහිදී මට අවස්ථාව ලැබෙනවා මගේ ගමන් මාර්ගය පියවරෙන් පියවර ඉදිරියට යන්න. අද ගැන කතා කළොත් මම ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙක් විදියට කටයුතු කරන්නේ. ඒ ආව ගමන් මාර්ගය ගත්තොත් බාධක, කම්කටොලු නැතුව නෙමෙයි මේ ගමන ආවේ. ඒවට හොඳ නිරවුල් මානසිකත්වයකින් මුහුණ දීලා, නිවැරදි අවස්ථාවේදි නිවැරදි තීන්දු තීරණ අරගෙන සහ ඒවට මහන්සියෙන්, උනන්දුවෙන් ක්‍රියා කිරීම නිසා තමයි අද මේ ගමන එන්න ලැබුණෙ.

මගේ විනෝදාංශ ගීතවලට සවන් දෙනවා, ගීත ගායනා කරනවා. පොත්පත් කියවීම ඒ අතර විශේෂ තැනක් ගන්නවා. මෙහි විශේෂ කාරණය 2013 වසරේදී බ්‍රැන්ඩික්ස් රසදිය ගී තරුව විදියට ජයග්‍රහණය කරන්න මට අවස්ථාව ලැබෙනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය එක්ක මේ ගමන් මග එන්න ලැබීම මං ලද භාග්‍යයක් ලෙස දකිනවා. අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්න අයට පණිවුඩයක් දුන්නොත් ඔබ ඔබව හඳුනා ගන්න, ඔබ දක්ෂ මොන දේටද කියලා හඳුනා ගන්න. ඉන්පස්සේ ආයතනය ඔබව ඔබ බලාපොරොත්තු වන අනාගතය කරා ගෙන යනවා. ඒ සඳහා ඔබේ ශක්තිය, දායකත්වය, කැපවීම අවශ්‍යයි. නිරන්තරයෙන් ආයතනය ඔබ පසුපස ඉන්නවා ඔබව ඒ අනාගතය වෙත ගෙන යන්න.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *