පරාජයට මුහුණ දෙන ක්‍රම 3 ගැන දැනගනිමු

අපි බොහෝ වෙලාවට කතා කරන්නේ ජයග්‍රහණය හඹා යාම පිළිබඳව. නමුත් කොහොමද පරාජයන්ට මුහුණ දෙන්නේ කියන එක ගැන අපි කතා කරන්නේ අඩුවෙන්. කොහොමද අපි මේ දේට මුහුණ දෙන්නේ කියන එක ගැන තමයි වියමන් TV ‘ප්‍රබෝධයේ තක්සලාව’ වැඩසටහනෙන් කතා කරන්නේ.

පරාජයට මුහුණ දෙන ක්‍රම 3ක් තියෙනවා. මේ ගැන කතා කරන්න මුලින්ම එකතු වුණා Brandix Corporate Campus හි Center for Apparel Technology and Business Excellence අංශ ප්‍රධානී චාමිකර ජයකොඩි මහතා.

“99%ක් දෙනා පරාජයට මුහුණ දෙන ප්‍රධාන ආකාර 2ක් තියෙනවා. එකක් තමයි පරාජයක් වුණාම ඒක ඒ වෙලාවෙම අතහරින එක. මම පෞද්ගලික උදාහරණයක් එක්ක කතා කරන්නම්. මම ඉස්කෝලේ 3 වසරෙදි විතර. ඒ කාලේ පාසලේ සංගීත කණ්ඩායම් තරගයකට යන්න ගායනා කිරීමේ හැකියාව තියෙන අය තේරුවා. මම සිංදුව බාගෙට කියාගෙන යද්දි සංගීත ගුරුතුමිය කිව්වා, “චාමිකර, නවත්තන්න පුතා ඔයාට සිංදු කියන්න බෑ” කියලා. එදා ඉඳලා අද වෙනකම් මම සිංදු කියන්න උත්සහ කරලා නෑ. හැබැයි තව පිරිසක් ඉන්නවා එයාලා තව එක පාරක් උත්සහ කරනවා පරාජයට මුහුණ දෙන්න. අපේ A/L විභාගය වෙන්න පුළුවන්, O/L විභාගය වෙන්න පුළුවන්. අපි අවශ්‍ය ප්‍රතිඵලය ආවේ නැත්නම් අපි තව එක පාරක් විභාගේ කරන්න උත්සහ කරනවා.”

පරාජයට මුහුණ දෙන තවත් ක්‍රමයක් ගැන කතා කරන්න අප සමග එකතු වුණා Brandix Corporate Campus හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග දසනායක මහතා.

“ජීවිතේ පරාජයට මුහුණ දෙන තුන්වෙනි ක්‍රමය තමයි ලෝකයේ සාර්ථකම මිනිස්සු පරාජයට මුහුණ දෙන ක්‍රමය. මේකට අපි සංකල්පයක් හඳුන්වලා දෙනවා Ultimate Success Formula කියලා. අපිට තියෙනවා Goal එකක්, බලාපොරොත්තුවක්, ඒක සාර්ථක කරගත්තොත් අපිට හම්බවෙනවා ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය සාර්ථක නම් අපි කියනවා ඒ Goal එක අපි සාර්ථක කරගත්තා කියලා. අපි බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය හම්බුණේ නැති වුණාම අපි කිසියම් පරාජයකට ලක් වුණා කියලා අපි කියනවා. ලෝකයේ සාර්ථක මිනිස්සු කරන්නේ ඒගොල්ලෝ ආයිත් බලනවා Goal එකට යන්න අනුගමනය කළ ක්‍රමවේදය ද හොඳම ක්‍රමවේදය කියලා. දෙවනුව ඒගොල්ලෝ කල්පනා කරනවා ඒ ක්‍රමවේදය හරියටම පාවිච්චි කළා ද කියලා. නමුත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබුණේ නැත්නම් එයාලා ක්‍රමවේදය වෙනස් කරනවා. මෙහෙම වාර ගාණක් කරද්දි අපි ජීවිතේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කය කරා අනිවාර්යෙන් යනවා. හොඳම උදාහරණය තමයි තෝමස් අල්වා එඩිසන්. ඔහු දහස් වතාවක් උත්සහ කරලා තමයි විදුලි බල්බය සොයාගෙන තියෙන්නේ. 999 වතාවක් එයා ක්‍රමවේද මාරු කර කර උත්සහ කළා බල්බ් එක පත්තු වෙන ක්‍රමවේදය සොයාගන්න. දහස් වෙනි වතාවේ එයාට ඒක කරන්න පුළුවන් වුණා.

ජීවිතේ සාර්ථක වෙන්න ඕන නම් පරාජයට මුහුණ දෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි පරාජයක් විදියට භාර ගන්න එපා, හම්බවෙන්න තියෙන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙන විදියට හම්බුණේ නැති වුණොත් ඒක ප්‍රතිචාරයක් විතරයි. ඒ අනුව ගිහින් බලන්න කොහොමද ක්‍රමවේදය මාරු කරන්න ඕන, ඒ මාරු කරපු ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක කරන්න. ඒ දේ අවශ්‍ය වාර ප්‍රමාණයක් කළාම ජීවිතය අනිවාර්යෙන්ම සාර්ථකත්වයට මුහුණ දෙනවා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *