ජීවිතයට තව වතාවක් ඉඩ දෙන්න

ජීවිතේ වන සිදුවීම් දිහා අපි එකිනෙකා බලන්නේ වෙනස් වෙනස් ආකාරවලට. සතුටු හිතෙන මිහිරි දේවල් අපේ ජීවිතවල කොච්චර තිබුණත් යමක් වුණාම එහි ඍණාත්මක බලපෑම් ගැන හිතන්නයි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. අපි මුහුණ දෙන හැම සිදුවීමකම හොඳ පැත්තකුත් තිබෙනවා. එදිනෙදා මුහුණ දෙන්න වෙන සිදුවීම්වල හොඳ, නරක අපිට පේන්නේ අපි ඒ දේවල් දිහා බලන්න පුරුදුවෙලා ඉන්න විදිහත් එක්ක. අපි වැඩි අවධානයක් දෙන්නේ සිදුවීමේ නරක හා ඍණාත්මක බලපෑම්වලට විතරක් නම් අපිට ඇති වෙන්නේ දුකක්, තරහක්. මේ හැඟීම් එක්ක අපි කඩා වැටෙනවා, ආවේගශීලි වෙනවා, ක්ෂණික තීරණ ගන්න පෙලඹෙනවා. මේ තීරණ අපිව අපේ ආදරණීයයන්ගෙන් සදාකාලිකව වෙන් කරවන්න හේතුවක් වෙන්න පුළුවන්.

බොහෝ විට මිනිසුන් ක්ෂණික තීරණ ගන්න පෙලඹෙන්නේ තමන් බලාපොරොත්තු වුණ දේ ඒ විදිහටම නොවීමෙන් ඇතිවූ දුකට, කලකිරීමට. නමුත් බලාපොරොත්තු කියන්නේ ඇති වෙන මොහොතේම නැතිවෙලා යන්නත් පුළුවන් තාවකාලික දෙයක්.

ඕනම බලාපොරොත්තු සුන්වීමකදී මොහොතක් නැවතිලා හිතන්න පුළුවන් නම් ඇයි මට මේ දේ නැති වුණේ, ඇයි මේ කෙනා මගෙන් ඈත් වුණේ, මේ දේ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ගැටලුවක අපි නොදැකපු පැත්තක් දැක ගන්න පුළුවන්. එකිනෙකාට හෝ තම තමන්ටම චෝදනා කර ගන්න එක, තමන් ගැනම වරදකාරී හැඟීමක් ඇති කර ගන්න එක නවත්තලා අපේ වැරදි, අඩුපාඩු හදාගෙන ජීවිතේ අලුතෙන් දකින්න අවස්ථාවක් අපිට ලැබෙනවා.

අපිට දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ වෙනත් දෙයක් අපිට ලැබෙන්න තිබෙන නිසා වෙන්න පුළුවන්. අපිට යම් අනපේක්ෂිත දුක්ඛිත සිද්ධීන්වලට මුහුණ දෙන්න වෙන්නේ ජීවිතේ ගැන පාඩමක් කියලා දෙන්න වෙන්න පුළුවන්.

ඔබ මනුෂ්‍යයෙක් වෙලා මේ ලෝකේ එළිය දැක්කේ ඔබට වාසනාව වගේම ශක්තියත් උපරිම තිබුණ නිසා. මොකද මව්පිය එක්වීමකදී පිට වුණ මිලියන ගණනක් ජීව තරලවලින් මනුස්සයෙක් වෙලා මේ ලෝකේ එළිය දැක්කෙ ඔයා විතරයි. ඔයා ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නේ මව්කුසේදි තනියමයි. අද ඔයාගේ වටේ ඉන්න අයගේ උදවු, ඔයාගේ බුද්ධිය, ශක්තිය මේ හැමදේම එක්ක ඔයාට අහිමි වුණ එක බලාපොරොත්තුව වෙනුවට තව බලාපොරොත්තු සීයක් වුණත් ගොඩනගාගෙන ඒවා ඉෂ්ට කර ගන්න පුළුවන් හයිය ඔයා ළඟ තියනවා කියන එක ඔයාගේ මනසට කාවද්ද ගන්න.

ජීවිතේට එන ප්‍රශ්න එක්ක ජීවිතේට නැවතීමේ තිතක් නැතුව තිත් කොමාවක් තියා ගන්න ඕනේ කරන්නෙ තීරණ ගනිද්දී හැඟීම්වලට යට නොවී බුද්ධිමත් වීම විතරයි. කවදාවත් ආවේග, කලකිරීම නිසා තීරණ ගන්න එපා. ඔබ ඔබව විශ්වාස කරන්න, ඔබේ වටිනාකම් හඳුනාගන්න. තව කෙනෙක් ඔබට වටිනාකමක් දෙනකම්, දිරිමත් කරනකම් බලන් ඉන්න එපා. ඔබ ශක්තිමත් නම් ඔබට ඔබ වටා සිටින අන් අයවත් දිරිගන්වන්න, රැකබලා ගන්න පුළුවන්. ඔබ ජීවිතෙන් සමුඅරන් හොයන්න හදන උත්තරේට වඩා සුන්දර උත්තරයක්, ලස්සන අනාගතයක් ඔබ තුළින්ම ගොඩනගා ගන්න.

යසස්මී තුඩුහේන
මනෝ උපදේශිකා
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *