“ප්‍රතික්ෂේප වීම කියන්නේ සවිමත් ඉණිමගක්”

ජීවිතය කියන්නේ විවිධාකාර සිදුවීම් ගොන්නක එකතුවක්. අපිට ඕන විදියට හැමදේම සිදු නොවුණත් සිදු වෙන දේවල් තුළින් ජීවිතය අපිට ඕන විදියට ගොඩනංවා ගන්න එක තියෙන්නේ අපේ අතේ. ප්‍රතික්ෂේප වීම කියන්නේ ජීවිත කාලයේදී පුද්ගලයෙකුට මුහුණ දෙන්න වෙන සිදුවීම් අතර වේදනාකාරීම සිදුවීමක්. නමුත් ඒ වේදනාව මතින් ගොඩ නැගෙන්න ඔබට හැකි නම් ඔබේ ජීවිතය සුබවාදී දිශාවකට ගෙන යන්න ඔබට හැකියාව තිබෙනවා. මේ ගැන වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහන තුළින් කතාබහ කරන්න මෙවර වැඩසටහනට එක් වුණේ බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රශංසනී මහත්මිය.

“මම ඔබෙන් ඇහුවොත් ප්‍රතික්ෂේප වීම් අපට ජීවිතේ ජයගන්න උදව් වෙනවා ද කියලා ඔබ ටිකක් හිතයි. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. ජේ.කේ. රෝලින්. අපි එහෙම කියනවාට වඩා දන්නවා හැරී පොටර් කතා මාලාවේ කතුවරිය. ඇය හැරී පොටර් කතා මාලාව ලිව්වට පස්සේ ඒක ප්‍රකාශයට පත් කරගන්න ප්‍රකාශකවරුන් 12 දෙනෙක් ළඟට යනවා. ඒ හැම වතාවෙම ඇය ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි ඇය උත්සහය අතහරින්නේ නැහැ. අවසානයේදී ලෝක ප්‍රකට හැරී පොටර් කතා මාලාව ප්‍රකාශයට පත් වෙනවා. දොළොස් වතාවක් ප්‍රතික්ෂේප වුණාට පස්සෙත් ඒ උත්සහය අත්නොහැරපු හින්දා අද අපිට අත්විඳින්න ලස්සන කතා මාලාවක් ඉතිරිවෙලා තියෙනවා වගේම ජේ.කේ. රෝලින් ලෝක ප්‍රසිද්ධ කතුවරියක් බවට පත්වෙලා තියෙනවා.

ඔබ සමහර වෙලාවට සම්මුඛ පරීක්ෂණයකින් ප්‍රතික්ෂේප වෙලා ඇති. තවත් සමහර වෙලාවට රැකියාව කරන ස්ථානයේ යම්කිසි කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වෙලා ඇති. එහෙමත් නැත්නම් යම් සබඳතාවකදි කවුරුහරි කෙනෙක් ඔබව ප්‍රතික්ෂේප කරලා ඇති. ඒ වෙලාවට ඔබ මානසිකව පීඩනයට පත් වෙලා ඇති. හැබැයි ප්‍රතික්ෂේප වීමට හේතුව අපේ දුර්වලතාවක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒක අපේ පාලනයේ නැති යම් හේතු සාධකයක් වෙන්නත් පුළුවන්.

මේ කොහොම වුණත් ප්‍රතික්ෂේප වීම්වලින් අපිට පුළුවන් අපේ ජීවිතේ ගොඩනගා ගන්න. ප්‍රතික්ෂේප වීම් අපිට කියලා දෙනවා කොයි තරම් දේවල් අපේ ජීවිතේට තව එකතු කරගන්න ඕන ද, අපේ දුර්වලතා අපි හදා ගන්නේ කොහොමද කියලා. ඒ නිසා ප්‍රතික්ෂේප වීම කියන්නේ අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් හොඳ සවිමත් ඉණිමගක්. බය නැතුව ඒ සවිමත් ඉණිමගේ නගින්න. ඔබට ඔබේ ජීවිතේ ලස්සනම දවස් ඉස්සරහට හම්බවෙයි.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *