“මගේ දියුණුවේ එක රහසක් තියෙනවා”

වෘත්තියක නියැළෙන ඕනෑම පුද්ගලයෙකුගේ ඉලක්කය එම වෘත්තියෙන් ඉහළටම යාම. එලෙස දියුණුවක් තම වෘත්තීය දිවිය තුළ ලබන්න හොඳ කැපවීමක් සහ අධිෂ්ඨානයක් තියෙන්නත් ඕන. එලෙස වෘත්තීය දිවිය සාර්ථක කරගත් බ්‍රැන්ඩික්ස් සමූහ මානව සම්පත් සාමාන්‍යාධිකාරී සුරංග ගයාන් මහතා තමයි මෙවර වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට සහභාගී වුණේ.

“මම උපත ලබන්නේ හෝමාගම, කිරිවත්තුඩුව කියන ගමේ. මගේ පවුලේ මම, මල්ලි සහ අම්මා, තාත්තා. මට වයස අවුරුදු 14ක් වෙද්දි අපේ අම්මා ජීවිත ගමනට සමු දෙනවා. අම්මා නැති වුණාට පස්සේ අම්මා කියන චරිතේ වගකීම් ටික සම්පූර්ණයෙන් පැවරෙන්නේ තාත්තා, මල්ලි සහ මම අපේ කර මත. මේක තමයි මගේ ජීවිතේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය. මම මගේ අධ්‍යාපනය ආරම්භ කරන්නේ හෝමාගම ජනාධිපති විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය සමත්වෙලා මට අවස්ථාව ලැබෙනවා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන්න.

අම්මා නැති වෙන්න කලින් පොඩි කාලේ මාව උනන්දු කරවනවා මම ලබා ගන්න දැනුම තවත් කෙනෙක් එක්ක බෙදාගන්න. ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ මම ඉගෙන ගත්ත දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. අදටත් මම හිතනවා ඒ දේවල් මගෙන් පිළිබිඹු වෙනවා කියලා.

මම ඇඟලුම් ක්ෂේත්‍රයට එන්නේ අහම්බෙන්. 2001දී. 2011 ඉඳලා මේ දක්වා මම වැඩ කරන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ. මේ කාලය ඇතුළත මගේ දියුණුවේ එක රහසක් තියෙනවා. මම උත්සහ කරපු දෙයක් තමයි මට වඩා උඩින් ඉන්න කෙනාගේ වැඩ කටයුතුවලින් යම් කොටසක් මගේ කරගෙන කරන්න. මේක හරහා මට හැමතිස්සෙම පුළුවන් වුණා මට ඊළඟ තනතුරේ වැඩ කරන්න හැකියාවක් තියෙනවා කියලා පෙන්නන්න.

ආයතනය ඇතුළේ අපිට පැවරිලා තියෙන වගකීම 100%ක් ඉටු කරන අතරේ ඉන් එහාට ගිය යමක් කරන්න අපි වෙහෙස විය යුතුයි.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *