පනින්න පෙර සිතා බලමු

යම් දෙයක් දුටු පමණින් හෝ ඇසූ පමණින් විශ්වාස නොකර එය විචාරශීලී බුද්ධියකින් විමසා බැලිය යුතුයි. බොහෝ දෙනා අමාරුවේ වැටෙන්නේ හෝ රැවටීමට ලක් වෙන්නේ බුද්ධිමත්ව සිතා බලන්නේ නැතිව යම් දෙයක් එක්වර විශ්වාස කරන්න යාම නිසයි. පොඩි කාලේ ඉගෙන ගත්ත ජාතක කතාවක් වුණත් මේ කතාව තුළින් දෙන පණිවුඩය අදටත් අපේ ජීවිතවලට ගොඩක් වටිනවා.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ පිඬු සිඟා වැඩි භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුන් වහන්සේට දන්වා සිටියා ශරීරයට නොයෙක් වද දෙමින් විමුක්තිය සොයන තවුසන් පිරිසක් දුටු බව. එලෙස ශරීරයට නොයෙක් වද දෙමින් සිටීමෙන් යම් ප්‍රයෝජනයක් ලැබිය හැකි දැයි භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් විමසා සිටියා. එම තවුසන් බුද්ධිමත්ව විමසා බැලීමකින් තොරව කටයුතු කරන බවත් පොළොව පෙරළෙනවා යැයි කියමින් දිව ගිය හාවා මෙන් ඔවුන් වැඩ කරන බවත් වදාළ බුදුන් වහන්සේ දද්දභ ජාතක කතාව භික්ෂූන්ට වදාළා.

බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ බටහිර මුහුද ආසන්නයේ තල් ගස් සහ බෙලි ගස්වලින් පිරි වනාන්තරයක් තිබුණා. මේ වනාන්තරයේ තල් ගසක් යට හාවෙක් වාසය කළා. දවසක් මේ හාවා තල් ගහ යටට වෙලා කල්පනා කර කර හිටියා පොළොව පෙරළුණොත් මොකක්ද වෙන්නේ, කොහොමද බේරෙන්නේ කියලා. එහෙම කල්පනාවේ ඉන්න අතරේ විශාල බෙලි ගෙඩියක් තල් කොළයක් උඩට වැටුණා. විශාල හඬක් ද නංවමින් බෙලි ගෙඩිය තල් කොළය උඩට වැටුණ නිසා කල්පනාවේ හිටිය හාවා හොඳටම බය වුණා. පොළොව පෙරළීගෙන එනවා කියලා හිතපු හාවා වේගෙන් දුවන්න ගත්තා. ඒක දැකලා අනිත් හාවුන් ඇහුවා ඇයි දුවන්නේ කියලා. හාවා කිව්වා “පොළොව පෙරළීගෙන එනවා ඉක්මනට දුවලා බේරෙන්න කියලා. ඒක අහපු හාවො ටිකත් මේ හාවා එක්කම දුවන්න ගත්තා.

හාවුන් දුවනවා දැක්ක මුවෙක් හාවුන්ගෙන් ඇහුවා ඇයි මේ බයවෙලා දුවන්නේ කියලා. පොළොව පෙරළෙනවා කියාගෙන හාවුන් නොනැවතී දුවන්න ගත්තා. මුවත් හාවෝ එක්ක එකතු වුණා. ඔය විදියට මේ දුවන හාවෝ රංචුවට වනාන්තරයේ හිටිය මුවන්, ඌරන්, ගෝන්නු, ගවයෝ, ඇතෙකු වගේම එක් සිංහයෙකුත් එකතු වුණා. මේ විදියට විශාල සත්තු පිරිසක් දුවනවා දැකපු වෙනත් සිංහයෙක් සත්තුන්ගෙන් ඇහුවා “කොහේද මේ හැමෝම දුවන්නේ?” කියලා. “මහ පොළොව පෙරළෙනවා” මෙහෙම කිව්ව සත්තු නොනැවතී දුවන්න වුණා. සත්තු ඔක්කොම දුවගෙන යන්නේ මුහුද දිහාවට නිසා සිංහයා හිතුවා මෙහෙම ගියොත් හැමෝම මුහුදෙ ගිලෙනවා, ඊට කලින් හැමෝවම බේරගන්න ඕන කියලා. එහෙම හිතපු සිංහයා මහ හඬින් සිංහ නාද කළා. එයට බය වුණ සත්තු හැමෝම දුවන්නේ නැතුව නතර වුණා.

“කවුද කිව්වේ මහ පොළොව පෙරළෙනවා කියලා?” සිංහයා සතුන්ගෙන් ඇහුවා. එක් එක් සතා තමා පණිවුඩය දැනගත්තේ මේ මේ සතාගෙන් කියලා කිව්වා. එහෙම ප්‍රශ්න කරගෙන යන කොට සිංහයාට තේරුණා හාවා තමයි මුලින්ම පොළොව පෙරළෙනවා කියන එක කියලා තියෙන්නේ කියලා. හාවා කිව්වා පොළොව පෙරළුණොත් මොකද කරන්නේ කියන එක කල්පනා කරන අතරේ තමයි මහ සද්දෙට පොළොව පෙරළීගෙන ආවෙ කියන කතාව. මොකද වුණේ කියලා බලන්න සිංහයා හාවා හිටිය තැනට යන්න එන්න හාවාට කතා කළා. හාවා හරිම බයෙන් සිංහයාගේ කීම නිසා හාවා හිටිය තැන පෙන්නන්න පිටත් වුණා. එතැනට ගිය සිංහයා තේරුම් ගත්තා තල් කොළයක් උඩට බෙලි ගෙඩියක් වැටුණ ශබ්දයකටයි හාවා බය වෙලා තියෙන්නේ කියලා. හාවා එක්ක දුවගෙන ගිය සතුන් මුණගැහෙන්න සිංහයා හාවා එක්කම ගියා. සිංහයා සත්තු හැමෝටම පැහැදිලි කරලා දුන්නා තල් කොළයකට බෙලි ගෙඩියක් වැටිලා ඒ සද්දෙටයි හාවා පොළොව පෙරළෙනවා කියලා බයවෙලා තියෙන්නේ කියලා. විමසා බලන්නේ නැතුව දුවලා තව පොඩ්ඩෙන් හැමෝම මුහුදේ ගහගෙන ගිහින් ලොකු විනාශයක් වෙන්නේ කියලා සිංහයා සත්තුන්ට පැහැදිලි කරලා දුන්නා.

මේ ජාතක කතාව වදාළ බුදුන් වහන්සේ “හාවාගේ කතාව අහලා දිවගිය සතුන්ට සිදු වන්නට ගිය කරදරයෙන් බේරාගත් සිංහයාව ඉපිද සිටියේ මම” යි වදාළමින් අන්ධානුකරණයෙන් කටයුතු කිරීමෙන් මුළාවට පත්වෙන බව අවධාරණය කළා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *