නුහුරු සෙයිලමේ මඟ වැරදුණු යුවතිය

“තුනුරුවනේ සරණයි පුතේ මගේ” මවුපියන් සෙනෙහසින් පැතුවා
ඉගෙන ගෙන දිවියම දිනන්නට සිහිනෙනුත් ඈ නිතර සිතුවා
සිනිඳු වුණ අතැඟිලි හැඩට පොත පුරාවට මුතු අකුරු ගෙතුවා
දිළිඳු වුණ හින්දාම ඒ හැම පිනෙන් ලද දස්කමත් මැකුවා

කාලේ ගෙවුණා තුරුණු වියේ ලත් රූ සොබාවන් යසට ලැබිලා
මාල පලඳා දිවි ගෙවන්නට තරම් වත්කම් නොමැත තිබිලා
වේල පිරිමහ ගන්නටත් මවුපියන් දරනා වෙහෙස දැකලා
ලෑලි කාමර බෝඩිමේ ඇස නතර වූවා කඳුළු පිසලා

කලක් ගෙවිලා සෙයිලමේ ගොස් රැකියාව තනියෙන්ම හෙව්වා
යමක් ගෙන මවුපියන් බලනට එන්නටත් ඈ සිහින මැව්වා
කරක් ගසනා නගරේ කොල්ලෙක් ඇගේ දෙස ඇස් ඉඟිත් කෙරුවා
බියක් නොදැනිම නොදත් වතගොත ඔහුට කුලුඳුල් ප්‍රේමේ පිදුවා

සුවඳ තවරා, ඉරුණු කලිසම් අණ්ඩ දා හැඩ කරපු අරුම
බොළඳ වදනින් නොමේරූ සිත රැවටුණා කළ පවක තරම
විලඳ මී ලෙස පෙන්වූ ජීවිත රස නොවිය ඒ තමයි උරුම
මල ද පරවිය පෙති තළා දා ගියා ඒ බඹරිඳුන් නරුම

පවස දැනුණත් දිවට ගත් තේ උගුර ආපිට බිමට දැමුණා
රහස ටික ටික තමන්ගෙම සිත කියවමින් දුක් කඳුළු වැටුණා
පහස වින්දත් රුවට රැවටී සිඟිති උපතක ලකුණු පෙනුණා
අහස පමණක් නොවේමැයි මහ පොළොවටත් ඒ දුකම දැනුණා

එම්.ජී.වී. ශිරෝමණී
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook
Facebook