හිරු එබෙද්දී ගමට මිහිදුම් පිනි සළුව හකුළුවා ගනිපූ
හතේ කණිසම වදින්නට පෙර ගෙදර බුදුනගේ දෙපා වැඳපූ
කිරි කොක්කු රෑනක් වගේ විත් කඩ කඩා පලු වීර හිඹටූ
දෝත පුරවන් අරන් ආවේ කෙනෙක් වෙනුවෙන් පෙමින් වෙළුණූ
දකින්නට ආසාවෙ යන්නේ ලස්සනම සාරියක් ඇඳපූ
තවත් ඈතින් එනවා පේනවා අත් දිගට කමිසයක් ඇඳපූ
ගෙදර වැඩ නොකළොතින් කාටත් සමසමව වේවැලෙන් තළපූ
මං දැක්කා දෙවිවරුන් මිහිපිට “ඉස්කෝලේ” දේවාලේ වැඩපූ
පන්ති යන්නට සල්ලි නැති උන් කොන් කළේ නෑ කිසිම දාක
දවල් බත් එක පිළුණු වූ දා මගේ කුසගිනි නිවපු සේක
හංසයෙක් කිරි දියෙන් වෙන් කර පිපාසය සංසිඳන සේම
අපේ ගුරුවරු නරක අතුගා ගුණ නුවණ වැපිරුවා බෝම
මලක් නටුවෙන් ගිලිහෙනා දා තවත් කැකුළක් පිපෙනවාලූ
ඒ වුණත් ගස එ මල වෙනුවෙන් විරහා දුක් ගී ගයනවාලූ
වෙන්වෙලා යන ළමයි වෙනුවෙන් අනේ ගුරුවරු අඬනවාලූ
ඒත් බෝධිය එකම තැන හිඳ අතු රිකිලි බෝ කරනවාලූ
මවුන් පසුවට දරුවෝ පිළිබඳ තීන්දුවෙ අවසරය ලත්තූ
හැරෙන්නට බැරි වෙන බව දැනෙද්දී කීරි ගැහෙනවා පපු කැනැත්තූ
නරක ඇසුරට වැටුණ පොඩි උන් මෙල්ල කළ සද්දන්ත ඇත්තූ
ගුරුවරුන් වී ඉපදිලා යළි පෙරුම් පුරනා බෝධිසත්තූ
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය